බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පිළිබදව විශ්වාසය තබා බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.

රුපියල් විසි දහසක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් ඊයේ පෙරවරුවේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, ඒ පිළිබදව අද ( 21) දහවල් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

අධිකරණ කටයුතු අඩාල වීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සදහා බාධා වන ආකාරයට කටයුතු නොකරන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහිදී ඔවුන්ට දැනුම් දී තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බැවින් එය ඉටුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමට තමන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යවරයා විසින් ලබා දුන් එම පොරාන්දුව පිළිබදව විශ්වාසය තබමින් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර සේවයට වාර්තා කරන බව වර්ජනයෙහි නිරත නිලධාරින් සදහන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Share This