කෘතිම බුද්ධිය හරහා උපන් ප්‍රභාකරන්ගේ දියණියගේ වීඩියෝව ගැන ආරක්ෂක අංශ අවධානයෙන්

කෘතිම බුද්ධිය හරහා උපන් ප්‍රභාකරන්ගේ දියණියගේ වීඩියෝව ගැන ආරක්ෂක අංශ අවධානයෙන්

හිටපු එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට හඟවමින් කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගනිමින් ප්‍රභාකරන්ගේ උපන්දිය යෙදුණු නොවැම්බර් 27 වැනිදා නිකුත් කළ වීඩියෝ පටය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.

ආරක්ෂක බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමේ දී මෙම වීඩියෝ පටය ගැන අදහස් මතු වී ඇති අතර බලධාරීන් ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශයෙන් විමසීමක්ද කර තිබේ.

එහෙත් එම වීඩියෝ පටයට පෙනී සිටි කාන්තාව ප්‍රභාකරන්ගේ දියණිය නොවන බවත් එම වීඩියෝව ව්‍යාජ එකක් බවත් එහිදී අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වීඩියෝව ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදුණු පෙරේදා දින පැවැත්වූ මහවිරු දිනය නිමිත්තෙන් පස්වරු 5.54 සිට 06.04 දක්වා කාලය තුළ නිකුත් වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කරයි.

LTTE සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ ඉතාම වැදගත් ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති මෙම වීඩියෝ පටය මුලින්ම පළ කර ඇත්තේ, දෙමළ ආලෝකය (TAMIL OLI) නමැති වෙබ් අඩවියෙනි.

එහිදී ද්වාරකා ප්‍රභාකරන් ලෙස ප්‍රතිනිර්මාණය කළ චරිතය සිය ප්‍රකාශනයේ මෙසේ කරුණු දක්වා ඇත.

“මට ඔබ හමුවේ පෙනීසිටීමට ලැබීම සම්බන්ධයෙන් ‌ගෞරවයටත් සතුටටත් පත්වෙනවා. මාගේ ආදරණීය දෙමළ ඊළාම් ජනතාවනි, මට මෙවැනි අවස්ථාවක් හිමිවෙයි කියා මා සිතුවේ නැහැ. යම් දිනෙක මට නැවත දෙමළ ඊළාම් මව්බිමට ඒ්මට හැකිවේ යැයි කියා මම විශ්වාස කරනවා.”

“අතීතයේදී, සිංහල රජය බටහිර රටවල් රැසක සහය ඇතිව අප සමඟ සටන් කළත් අපි කිසිවෙකුගේ සහයක් නැතිව සටන් කළා. ශ්‍රී ලංකාවේ අද පවතින තත්ත්වය LTTE සංවිධානය ආරම්භ වූ කාලවකවානුවට සමානයි. ඉදිරියේදී දෙමළ ජනතාවගේ අයිතීන් සහ දේශපාලන පිළිගැනීම සඳහා අප දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රතිපත්තිගරුකව සටන් කළ යුතුයි.”

“අපගේ නිදහස උදෙසා සටන් කළ මහවිරුවන් අපගේ වීරයන්. ජනසංහාරය සඳහා සාධාරණය ඉටුකරගැනීමට එකමුතුව කටයුතු කරන ලෙස මම සියළු දෙමළ ජනතාවගෙන්, සංවිධානවලින් හා දෙමළ දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටිනවා”

“විදෙස් රටවල සිටින දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ හිටපු සටන්කාමීන් සහ මහවිරු පවුල් රැකබලා ගැනීම සම්බන්ධයෙන් වගකීමක් පවතිනවා. LTTE සංවිධානයට අමාරු අවස්ථාවලදී දෙමළ ජනතාව සහයෝගය ලබාදුන්නා, එලෙසම ඉදිරියටත් සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

“අපි සිංහල ජනතාවට විරුද්ධ නැහැ, සිංහල දේශපාලනඥයින් තමයි එවැනි අදහසක් සිංහල ජනතාව තුළ ඇතිකරලා තියෙනවා. ස්වයං නිර්ණය සහිත දෙමළ ඊළමක් අපගේ අපේක්‍ෂාවයි. ස්වයං නිර්ණය අයිතිය හා ආර්ථික විසඳුමක් දෙමළ ඊළමට ලබාදීම පිළිබඳව එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර රටවල් සලකා බලමින් සිටිනවා.”

මාගේ පියා සහ දෙමළ ඊළමේ නායකයින් පැවසූ පරිදි අපගේ මාර්ගය වෙනස් වුවත් අරමුණ හා අපේක්‍ෂාව වෙනස් වෙන්නේ නැහැ. “කොටින්ගේ පිපාසය දෙමළ ඊළමයි”

Share This