මඩ පොහොර නොගත් ගොවීන්ට දැනුම් දීමක්

මඩ පොහොර නොගත් ගොවීන්ට දැනුම් දීමක්

යල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම අප්‍රේල් මස 10 දිනට කළින් TSP පොහොර ලබා නොගත් සියලු ගොවීන් ඒවා ලබා ගන්නා ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. නැතහොත් අප්‍රේල් මස 10 වනදායින් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග ආපසු ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් TSP පොහොර හා අනෙකුත් පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විමසනු ලැබීය.

ඒ අනුව, ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර අවසන් කර ඇත.

මේ වනවිට ගොවිජන බලප්‍රදේශ 38ක ගොවීන්ට TSP පොහොර බෙදා හැර අවසන් කර තිබේ.

ඊයේ දිනය අවසන් වනවිට ගොවීන් 677,139 දෙනෙක් අතර මෙතෙක් නොමිලයේ බෙදා හැර ඇති TSP පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,644කි.

මේ හැර මෙවර යල කන්නයේ දී අනෙකුත් පොහොර වර්ග හෝ බීජ හා පළිබෝධ නාශක මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක් බැගින් හා හෙක්ටෙයාර් 02කට රුපියල් 40,000ක් බැගින් නැවත අය කර නොගන්නා මුදලක් වශයෙන් ගොවි ගිණුම්වලට බැර කිරීමට රජය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

“මෙවර යල කන්නයේ අපි TSP පොහොර නොමිලයේ දෙනවා. මඩපොහොර හා යුරියා පොහොර ඇඟට දැනෙන මිලකින් අඩු කරනවා. ඒ විතරක් නොවෙයි. පොහොර හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා රුපියල් 20,000 සිට 40,000ක් බැගින් ලබා දෙනවා. දිස්ත්‍රික්ක 06ක ගොවි පවුල් 48,000කට මෙම මුදලට අමතරව රුපියල් 15,000 බැගින් වාරික දෙකකට රුපියල් 30,000ක මුදලක් වශයෙනුත් ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.”