බාල පළිබෝධ නාශක වික්කොත් බලපත්‍ර අහෝසියි

බාල පළිබෝධ නාශක වික්කොත් බලපත්‍ර අහෝසියි

තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක සපයන සමාගම්වල බලපත් අහෝසි කර එම සමාගම් අසාදු ලේඛන ගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ දිස්ත්‍රික් සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍යවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල සලකා බලමිනුයි අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත්තේ.

කිසියම් සමාගමක් විසින් ගොවීන්ට සපයන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල නම් එම සමාගම්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළේ.

ඇතැම් සමාගම් වලින් ඉහල මිලක් ගෙවා ගත් පළිබෝධ නාශකවලින් වල් මර්දනයේ දී සහ කෘමි මර්දනයේ දී නිසි ප්‍රතිඵල ලබාදීමට අපොහොසත් වූ බවත් ඒවා බාල තත්ත්වයේ පවතින බවත් ගොවි නියෝජිතයින් විසින් මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.

කිසියම් සමාගමක් මගින් අලෙවි කරන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල බවට හැඟී ගියහොත් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පළිබෝධ නාශක ලේකම් කාර්යාලයට දැනුම් දෙන ලෙසයි ගොවීන්ගේ ඉල්ලීම්වලට පිලිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ.

මෙම මහ කන්නයේ දී ගොවිජන සේවා මධ්‍යස්ථානවලිනුත් පළිබෝධ නාශක බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ඒ අනුව තත්ත්වයෙන් ඉහළ පළිබෝධ නාශක ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබෙන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.