ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් කෙරේ – සංදේශය අද ජනපතිට

ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් කෙරේ – සංදේශය අද ජනපතිට

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) රාත්‍රියේ වීථී සංචාරය කළේය.

අලි ඇතුන් ඇතුළු සංස්කෘතික නර්තනාංග රැසකින් සමන්විත පෙරහැර මංගල්‍ය දැක බලා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව බොහෝ පිරිසක් පැමිණ තිබුණි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් තානාපතිවරුන් රැසක් ද අවසන් රන්දෝලී පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියේය.

ඇසළ පෙරහැර මංගල්‍යයේ දියකැපීමේ චාරිත්‍රය මේ වන විට මහවැලි නදියේ ගැටඹේ තොටේ දී සිදුකරනු ලබයි.

දියේ කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව සිව්මහා දේවාල පෙරහැර මහනුවර ඝණදෙවි කෝවිලට පැමිණ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අද දහවල් පෙරහැර සඳහා එකතුවීමට නියමිතව තිබේ.

මේ අතර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දීම අද (31) පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී සිදු කෙරෙයි.

දවල් පෙරහර නිම වීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහා දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහර සංදේශය රැගෙන පෙරහරින් ජනපති මැදුර වෙත ගමන් ගනී.

මහනුවර ඇසළ මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වන්නේ පෙරහර සංදේශය ජනාධිපතිවරයාට භාර දීමෙන් පසුවය. අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා දළදා මාළිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ කලා ශිල්පීන් අගයමින් ජනපති සම්මාන ප්‍රදානය කිරීම ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

මේ අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරු, මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වනු ඇත.

Share This