තියුණු ආයුධයකින් පහරදී පෙර පාසල් ගුරුවරියක් ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහරදී පෙර පාසල් ගුරුවරියක් ඝාතනය කෙරේ

පේරාදෙණිය පොලිස් වසමේ ඉළුක්වත්ත ප්‍රදේශයේ දී 25 හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා අද (07) පෙරවරුවේ යමින් සිටියදී මෙම ගුරුවරිය ඝාතනයට ලක්ව තිබෙන බව පොලීසිය පවසයි.‍

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි අංජලී චාපා සෙනෙවිරත්න නැමැති තරුණියකි.

නිවසේ සිට ඉළුකැන්න ප්‍රදේශයේ පිහිටි පෙර පාසලට යමින් සිටි ගුරුවරියගේ ගෙළට ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසිවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඇති අතර ඉන්පසු ඇය මාව බේරාගන්නා ලෙස පවසමින් මීටර් 100 ක් පමණ දුරක පිහිටි ඇගේ නැන්දාගේ නිවස වෙත ගොස් තිබෙන බවත් පොලීසිය පවසයි.

පෙර පාසල් ගුරුවරිය නිවසේ සිට එන අතරතුර දුරකතනයෙන් කිසිවෙකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මෙය ප්‍රේම සම්බන්ධතාවක් මුල්කර ගනිමින් සිදුවූ ඝානතනයක් ද යන්න සම්බන්ධයෙන් පොලීසිය සැකකරයි.

පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.