ලෝක දේශගුණික විපර්යාස සමුළුවට පාඨලීත්

ලෝක දේශගුණික විපර්යාස සමුළුවට පාඨලීත්

පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා 2023 වසරේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විප‍ර්යාස පිළිබඳ සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සහභාගී වීමට නියමිතය.

පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකාවේ පාරිසරික සහ ස්වභාවික සම්පත් අමාත්‍යවරයාව කටයුතු කරන සමයේ එනම් 2008 දී දෝහා, කටාර් හි පැවති 8 වන සමුළුවේදී වියානා සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් විය. ඒ මින් දසක එකහමාරකටත් පෙර දී ය. ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා වූ 1985 වියානා සම්මුතියේ අරමුණ වන්නේ වායු දූෂණයෙන් සිදුවන අහිතකර බලපෑම් වලින් මිනිස් සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සුදුසු පියවර ගැනීම සඳහා ජාතීන් බලමුලු ගැන්වීමයි. මන්ත්‍රීවරයෙකුව සිට ඇමැතිවරයෙකු බවට පත් ව ඉතා කෙටි කලකින් ජාත්‍යන්තර වශයෙන් පරිසරය සම්බන්ධ මෙවන් ඉහළ තනතුරකට පත් වීමට ඔහුට හැකියාව ලැබුණේ පාරිසරික විෂයය සම්බන්ධයෙන් ඔහු සතු ප්‍රාමාණික දැනුම සහ දක්ෂතාව හේතුවෙනි.

බොහෝ දෙනෙක් තිරසර සංවර්ධනය හරිත ආර්ථිකය ගැන කතා කළද ඒ සඳහා විධිමත් දාර්ශනික වෘතිතීය භාවයක් ලංකාවේදී එක් කළ පාඨලී වෙළඳපොළ ආර්ථිකය පිළිබඳ විවේචනයක් සහිත ඔහුගේ හරිත ආර්ථික මග සහමුලින්ම වෘත්තීය ප්‍රකාශනයක් විය. මනෝරාජික අදහස්වලින් ඔබ්බට ගොස් වෘත්තීය දායකත්වයක් තිරසර සංවර්ධනයට ලබා දීම සඳහා ඔහු මුල් වී නිර්මාණය කළ තිරසර සංවර්ධන දර්ශකය ද ජාත්‍යන්තරයේ පවා පිළිගැනීමට ලක්විය.

2007-2010 කාලය තුළ පාරිසරික සහ ස්වාභාවික සම්පත් අමාත්‍ය ධුරය දරද්දී ලොවේ සාර්ථක ලෙස ඕසෝන් වියන රැකගැනීමේ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම වෙනුවෙන් මොන්ට්‍රියල් සංවිධානයේ ජාත්‍යන්තර සම්මානය 2008 දී ජාතික ඕසෝන් ඒකකයට හිමි කර දීමට සඳහා එවක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සුමතිපාල මහතා ඇතුළු නිලධාරීන් විශිෂ්ඨ මෙහෙයක් සිදු කළ අතර, එවන් කුසලතා සහිත සුදුසු පිරිසකට අවස්ථාව හා ඊට නායකත්වය ලබා දෙමින් රටට ජයග්‍රහණ අත් කර දීමට පාඨලී ඇතුළු පිරිස සමත් විය. මේ ආදී සුවිශාල කටයුතු රැසක් සමග එතෙක් සාමාන්‍ය අමාත්‍යාංශයක් බවට පත් ව තිබූ පරිසර අමාත්‍යාංශය රජයේ කැපී පෙනෙන අමාත්‍යාංශයක් බවට ඔසොවා තැබීමට පාඨලී චම්පික රණවක ප්‍රමුඛ පිරිස කටයුතු කළහ.

නමුත්, පාඨලී චම්පික රණවක පරිසර විෂය වෙත එළඹියේ ඉන් බොහෝ කලකට පෙර ය. 1960 දශකයේ අග භාගයේ සිට යුරෝපයෙන් හමා ආ හරිත දේශපාලනය ගැන අවබෝධයකින් තොරවම චම්පික රණවක 1980 අග භාගයේ සිට ජාතික මතය හා කැටිකරගෙන හරිත දේශපාලනයක් ගොඩනැගීය. පසුව පරිසර හිතකාමී සංවර්ධනයක් ඉලක්ක කරගත් විධිමත් න්‍යායපත්‍රයක් සහිතව ‘ජනතා මිතුරෝ’ ව්‍යාපාරය බිහිවිය. ශ්‍රී ලංකාවට පරිසරය ප්‍රමුඛ කරගත් හරිත දේශපාලනය ගෙන ඒමට මූලික වූ පුද්ගලයෙකු වූයේ පාඨලී චම්පික රණවකය.

දේශපාලනයේ මූලික අවස්ථාවේ සිට විවිධ ජාත්‍යන්තර සමුළු සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා පාඨලී තෝරා ගැනුනේ ඔහු සතු විෂය දැනුම මෙන්ම ප්‍රාමාණික දක්ෂතාව ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා යොදාගැනීම වෙනුවෙනි.

මේ වසරේ (2023) එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව – (UNFCC – Conference of Parties 28th Conference) 2023 නොවැම්බර් 30 දින සිට 2023 දෙසැම්බර් 12 වෙනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී පැවැත්වීමට නියමිතව තිබේ.

2007 වැනි කාලයක දී එවකට පරිසර ඇමැති පාඨලී ඇතුළු පිරිස ගෝලීය උණුසුමෙන් ලෝකය බේරාගැනීම සඳහා ‘කාබන් බජට්’ නම් ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, දියුණු යයි සම්මත කාබන් පරිභෝජනය ඉහළ රටවල් විසින් අඩු කාබන් භාවිතයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ඓතිහාසිකව සිදු කෙරෙන දේශගුණික අසාධාරණයට එරෙහිව දේශගුණික යුක්තිය අවශ්‍ය බව අවධාරණය කළහ. ශ්‍රී ලංකාව වැනි රටවල් සතුව පවතින කාබන් ප්‍රමාණය කිසිදු අනුමැතියකින් තොරව මෙසේ දියුණු රටවල් විසින් පරිභෝජනය කර ඇති අතර, ඒ වෙනුවෙන් ඔවුන් විසින් අප වෙත පවතින ‘කාබන් ණය’ ගෙවා දැමිය යුතු ව තිබේ. මෙවර දේශගුණික විපර්යාස සමුළුවේ දී ඉහත කී ‘කාබන් බජට්’ ක්‍රමවේදය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.

එමෙන්ම, 2012 දී මෙන් ම 2015 දී පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වුනු ජාතියක් ගොඩ නැංවීම උදෙසා 2030 දක්වා වූ උපාය මාර්ගික සැළැස්මක් සකස් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක විසින් නායකත්වය දෙන ලදී. 2030 වන විට 100% ක් බලශක්තියෙන් ස්වයංපෝෂිත වූ ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම එම ‘දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධන සැලැස්මේ’ අරමුණ විය. මෙවර ඩුබායි සමුළුව පරිසර හිතකාමී බලශක්තිය සම්බන්ධයෙන් ද, වැදගත් සමුළුවක් බවට පත් වීමට නියමිතව තිබේ.

එමෙන්ම, හදිසි සහන සහ ඒ ආශ්‍රිත ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ කරුණු විමර්ශනය කර නිර්දේශ ලබාදීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට බලය පැවරී ඇති අතර, ඒ අනුව මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස වැනි ගෝලීය සංසිද්ධීන් යන දෙකින්ම ඇති වන ස්වාභාවික විපත් සඳහා දායක වන සාධක සහ ස්වාභාවික විපත් අවම කර කළමනාකරණය කිරීමේ ක්‍රම සළකා බැලීම ක්‍රම සහ විධි කමිටුවට අයත් කාර්යයභාරයන් වේ.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු කාරක සභාවන් හි විෂය පථයන්ට අදාළ වූ ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගී වීමේ අවස්ථාව එම කාරක සභාවල සාමාජිකයන් වෙත හිමිවන අතර, ඒ අනුව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා 2023 වසරේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විප‍ර්යාස පිළිබඳ සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.

Share This