“ගෑස් මිල අඩු වුනත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ” – බේකරි සභාපති

“ගෑස් මිල අඩු වුනත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ” – බේකරි සභාපති

තිරිඟු පිටි මිලට සිර වී සිටින බේකරි හිමියන්ට ගෑස් මිල අඩු වූවත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

තිරිඟු පිටි මිල ඉතා පහසුවෙන් අඩු කිරීමට සමාගම් දෙකට හැකියාවක් තිබියදී සමාගම් දෙක ඒ ගැන කිසිදු තැකීමකින් තොරව කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මාසයක පමණ කාලයක සිට ඩොලරය අඩු වෙමින් පවතින බවත්, ඩොලරයේ අඩුවීමේ වාසිය පිටි සමාගම් දෙකට නිරතුරුවම හිමි වන නිසා එම සමාගම් දෙකට පිටි මිල අඩුකර ජනතාවට සහන සැලසීමට හැකි බවත් සභාපතිවරයා පවසා සිටියේය.

එසේම, බේකරි සඳහා තවමත් ප්‍රධාන පිටි සමාගම් දෙකෙන් පිටි ලැබෙන්නේ, රුපියල් 210ක තොග මිලට බවත්, එම සමාගම් දෙක පිටි කිලෝවක තොග මිල රුපියල් 10කින් අඩු කරන්නේ නම්, පාන් ගෙඩියක මිලද රුපියල් 10කින් අඩු කළ හැකි බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

එසේම සමස්ත බේකරිවලින් ගෑස් භාවිත කරන්නේ 20%ක පමණ බේකරි ප්‍රමාණයක් බව පැවසූ සභාපතිවරයා, බේකරි විශාල ප්‍රමාණයක් භාවිත කරන්නේ විදුලිය, ඩීසල් සහ දර බවද වැඩිදුරටත් පැවසීය.

Share This