පාස්කු ඉරිදා අදයි – දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා අදයි – දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නපුර පරදා උත්ථානය ලැබූ අවස්ථාව සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුනු ජනයා සමරනු ලබන පාස්කු දිනය අදට (31) යෙදී තිබේ.

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් දින 40ක චතාරිය සමය ගෙවන කිතුණු බැතිමත්තු උපවාසයේ නිරත වෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් පාස්කු මංගල්‍යයට එක් වෙති.

ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේදී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථානය වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන් ය.

මේ අතර, අද පැවැත්වෙන පාස්කු ඉරිදා දින දේව මෙහෙයන් සඳහා කිතුනු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

දිවයින පුරා පොලිස් වසම්වල පිහිටා ඇති කිතුනු දේවස්ථාන 2,978කින් දේවස්ථාන 2,239ක දේව මෙහෙයන් පැවැත්වෙන අතර එම දේව මෙහෙයන් සඳහා මෙම විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

මේ සඳහා පොලිස් නිලධාරීන් 6900ක් ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් 470ක්ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2900ක් ද යොදවා ඇති අතර දේවස්ථාන ආවරණය වන පරිදි ඒ අවට ආරක්ෂාව සඳහා බුද්ධි නිලධාරීන් ද යොදවා තිබේ.

දේව මෙහෙයන් පවත්වනු ලබන දේවස්ථාන ඇතුළු දේවස්ථාන 2,253ක පියතුමන්ලා සමග එම වසම්වල පොලිස් ස්ථානාධිපතිවරුන් කළ සාකච්ඡාවලට අනුව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

මේ අතර, ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ එකමුතුකම සහ සංහිදියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැළලක් ඇතිකරන කිසිදු ආකාරයේ කුමන්ත්‍රණයකට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදට යෙදී තිබෙන පාස්කු දිනය නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.