රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සහ මුදල් අමාත්‍යංශයේ ගැසට් නිවේදන සම්මත කිරීම අද

රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සහ මුදල් අමාත්‍යංශයේ ගැසට් නිවේදන සම්මත කිරීම අද

රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සහ මුදල් අමාත්‍යාංශයට අයත් ගැසට් නිවේදන අද (07) දින විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ඊයේ (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණි.

මෙම පෙත්සම් අද එස්. තුරෙයි රාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදු කෙරිනි.

සර්වජන බලය සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන සහ ව්‍යවසායක දිලිත් ජයවීර, වෛද්‍ය ජී. වීරසිංහ සහ නිමල් රණවක ඇතුළු පිරිසක් විසින් එක්ව පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව සමගි ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය, ජාතික ජන බලවේගය, ඇතුළු පාර්ශ්ව 17 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර ඇති බවය.

මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණය හා සම්බන්ධ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී‍ ලංකා මහ බැංකුව වෙතය.

ඒ අනුව, ශ්‍රී‍ ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, රජය වෙනුවෙන් ණය උපකරණ නිකුත් කිරීම සහ රජයේ දේශීය හා විදේශීය ණය සේවාකරණය සම්බන්ධ සියළු කටයුතු මෙහෙයවීම සිදු කරයි.

මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් විදේශීය මූලාශ‍්‍ර වලින් ණය ලබාගැනීම සම්බන්ධ කටයුතු මෙහෙයවනු ලැබේ.

මෙම පනත් කෙටුම් පත සම්මත කිරීමේදී විපක්ෂය විසින් සභාවේ ගණපූරණය ඉල්ලා සිටීමට ඉඩ ඇති බැවින් අද දින පෙ.ව. 9.30 වනවිට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණ, විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙසත්, ගැසට් නිවේදන සම්මත කිරීමට සහ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම, කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම සහ රජය මඟින් ඉදිරිපත් කරනු ලබන සංශෝධන සඳහා පක්ෂව ජන්දය ප්‍රකාශ කරන ලෙසත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Share This