පන්සල්වල සිදුවීම් සමාජ මාධ්‍යයේ පළ කරන්නන්ට නීතිය දැඩි වෙයි

පන්සල්වල සිදුවීම් සමාජ මාධ්‍යයේ පළ කරන්නන්ට නීතිය දැඩි වෙයි

විහාරස්ථානවල ඇතිවන හුදෙකලා සිද්ධි ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍ය ලෙස සමාජය කැලඹෙන බැවින් අනවශ්‍ය ලෙස හැසිරෙන සහ එම සිද්ධි මාධ්‍යයට මුදාහරින පාර්ශවයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුව ඇති සිදුවීම දැනගත් විගස පොලිසිය දැනුවත් කිරීමට පියවර ගත් බව පැවැසූ විදානපතිරණ මහතා ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කියා සිටියේය.

එම සිද්ධියේදී භික්ෂුවගේ හැසිරීමත්, බාහිර පාර්ශවයක් එම ස්වාමීන් වහන්සේ ඇතුළු කාන්තාවන් දෙදෙනාට පහරදීමත් වැරදි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙවැනි සිද්ධි සමාජ මාධ්‍ය ඇතුළු අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ගැටලුවක් වී තිබෙන බව පැවසූ අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ එතුළින් අනෙකුත් භික්ෂුන් වහන්සේලා ද අපහසුතාවට පත්වන බව සඳහන් කළේය.

නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයේ ඇතිවූ සිද්ධියට භාජන වූ හිමිනම සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන් තීරණයක් ගත යුතු බවත්, ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය මැදිහත් නොවන බවත් ලේකම්වරයා සඳහන් කළේය.