නුවරඑළියේ ජන්ද මධ්‍යස්ථානයක් අවන්හලකට බදු දීලා

නුවරඑළියේ ජන්ද මධ්‍යස්ථානයක් අවන්හලකට බදු දීලා

ඉතිහාසයේ සිටම මැතිවරණ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස යොදා ගත් නුවරඑළිය රජයේ සේවකයන්ගේ ක්‍රීඩා සමාජ ශාලාව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අවන්හලක් සඳහා බදු දීම හේතුවෙන් මෙවර ඡන්දය මධ්‍යස්ථානයක් අහිමී වී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙතෙක් කල් ඡන්දය පැවැත් වූ මෙම පැරණි ගොඩනැගිල්ල, නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය පෞද්ගලික ව්‍යාපාරිකයකුට වසර 20 ක කාලයක් සඳහා බදුදී තිබේ.

අංක 5 හාවාඑළිය උතුර මැතිවරණ මධ්‍යස්ථානය ලෙස යොදාගත් එම ගොඩනැගිල්ල වෙනුවෙන් මැතිවරණ නිලධාරින් මේ වන විට එම ඡන්ද කොට්ඨාශය සඳහා වෙනත් ගොඩනැගිල්ලක් සොයමින් සිටින බව ද දැනගන්නට තිබේ.

මෙරට පාලනය කළ එංගලන්ත ඡාතිකයින් එම ගොඩනැගිල්ල 1941 වසරේදි ඉදි කර ඇත්තේම, රජයේ සේවකයන් සඳහා ක‍්‍රීඩා සමාජ ශාලාවක් ලෙසය.

එය වර්ෂ ගණනාවක් පුරාම ක‍්‍රීඩා සමාජ ශාලාවක් ලෙස පැවති අතර, විවිධ වකවානුවල රජයේ මුදල් විශාල වශයෙන් යොදවා ගොඩනැගිල්ල නවීකරණය කිරීමටත්, අවශ්‍ය කායවර්ධන උපකරණ මිලදි ගැනීමටත් විශාල මුදලක් වැය කොට තිබුණි.

එම ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම හේතුවෙන්, එහි තිබු ක‍්‍රීඩා උපකරණ ගලවා ඉවත් කර ඇත.

එසේම රක්ෂිතයක් ලෙස පැවතින එම භුමියේ කබානා ඇතුළු වෙනත් ඉදිකිරිම් සඳහා ඉපැරණි ගස් ඉවත් කිරීම සඳහාද අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.