ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි, ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

මෙම පොදු සමා කාලය තුළ සිය හමුදා මූලස්ථානය වෙත පැමිණ වාර්තා කරන හමුදා සාමාජිකයින් සඳහා නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සැලසෙන අතර යම් පුද්ගලයෙකුගෙන් කිසියම් මුදලක් හමුදාවට අය විය යුතුව තිබේ නම් එම මුදල් අයකර ගැනීම ද මෙහිදී සිදුකෙරෙයි.

මෙම සමා කාලය අප්‍රේල් මස 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඔවුන්ගේ ආදාළ ඒකකය වෙත වාර්තා කිරීමකින් තොරව පොදු සමා කාලයේ දී කොන්දේසි කිහිපයකට යටත්ව නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සලසා දී තිබේ.