රැකියා විරහිත උපාධිධාරීන් උතුරු මැද පළාත් සභාව වටකරයි – 22ක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් උතුරු මැද පළාත් සභාව වටකරයි – 22ක් අත්අඩංගුවට

උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් 22 දෙනෙකු අද පෙරවරුවේ (06) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උද්ඝෝෂකයින් විසින් එහිදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර තිබූ බවයි, වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමස්ත ලංකා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ හිටපු කැඳවුම්කරු ධම්මික මුණසිංහ ඇතුළු පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තා සාමාජිකාවන් 11 සිටියහ.

පොළොන්නරුව වැලිකන්ද වැනි දුෂ්කර ප්‍රදේශවල සිට කුඩා ළමයින් සමග කුස ගින්නේ පිරිස් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්, උතුරු මැද පළාතේ ඇති පුරප්පාඩු වලටත් වඩා අඩු රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පලාත තුල සිටින බැවින් ඔවුන්ට රැකියා ලබා දීමට ක්‍රියා නොකරන්නේ මන්දැයි මෙම පිරිස ප්‍රශ්න කර සිටියහ.

අද උදෑසන දහයට පමණ පළාත් සභා ප්‍රධාන ගේට්ටුවෙන් පලාත් සභා භූමියට ඇතුළු වූ එම රැකියා විරහිත උපාධිධාරීහු පිරිස, උතුරු මැද පළාත් සභාවේ පිට වන හා ඇතුළු වන දොරටු සියල්ල අවහිර කරමින් බිම වාඩි වී උද්ඝෝෂණයේ නිරත වී තිබේ.