මුලතිව් මිනිස් අස්ථි වලට ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලා උතුරු නැගෙනහිර හර්තාල්

මුලතිව් මිනිස් අස්ථි වලට ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලා උතුරු නැගෙනහිර හර්තාල්

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී හමුවූ මිනිස් අස්ථි කොටසු හමු වූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදුකොට හමුවූ අස්ථි කොටස් පිළිබඳව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (28) දින උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ සංගමය විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කොට ඇති අතර ඒ සඳහා යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සේවක සංගමය, දේශපාලන සිරකරුවන් මුදවාගැනීමේ සංගමය, දෙමළ ජාතික ජනතා පෙරමුන ඇතුලු දේශපාලන පක්ෂ කිහිපයක්ද සහය දක්වා ඇත.

මේ අතර අද දින මුලතිව් වට්ටුවාක්කල් පාලම ඉදිරිපිට සිට මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා දැවන්ත විරෝධතා පාගමනක්ද සංවිධානය කොට ඇති අතර ඒ සඳහා සියලු දෙනාට සහභාගී වන ලෙසටද අතුරුදහන් වූවන්ගේ සංගමය විසින් ඉල්ලීමක් කොට ඇත.

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී පසුගිය ජුනි 29 වනදා ජලනල එලමින් සිටි සේවක පිරිසකට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවීමෙන් පසුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ජුලි 06 වනදා අදාල ස්ථානයේ සිදුකරන ලද වැඩිදුර කැනීම් වලදී තවත් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවිය.

සිදුකරන ලද කැනීම් වලදී මිනිස් අස්ථි කොටස් 13 ක් ප්‍රමාණයක් මෙන්ම යුද සමයේදී පළඳින ලද නිලඇඳුම් කොටස්ද හමු වූ අතරම එම නිල ඇඳම් කාන්තාවන්ගේ බවට හෙලිවිය.

කෙසේ වෙතත් පොලීසිය සැක පලකර සිටියේ අදාල නිඇඳම් යුද සමයේද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා අංශය විසින් භාවිතාකරන ලද ඒවා බවටය.

කෙසේ වෙතත් අදාල සිදුවීම පාදකකරගනිමින් අතුරුදහන් වූවන්ගේ සංගමය විසින් චෝදනා කොට සිටියේ යුද්දයෙන් පසුව සහ යුදසමයේදී අතුරුදහන් වූ උතුරු නැගෙනහිර සිය දරුමුණුබුරන්ගේ සිරුරු මෙලෙස වලදමා ඇති බවටත් අදාල ස්ථානය වැඩිදුර කැනීම් සිදුකොට අදාල අස්ථි කොටස් වෙනුවෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකල යුතු බවටත්ය.

මෙම ඉල්ලීම පාදක කරගනිමින් අද දින උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කොට ඇති අතර ඒ සඳහා උතුරු නැගෙනහිර බස්සංගම්, ගුරු සංගම්, වෙළඳ සංගම් වෙතින් හර්තාලයට සහය දක්වන ලෙසටද ඉල්ලීමක් කොට ඇත.

 

Share This