නිලන්ත ජයවර්ධන ට එරෙහි රිට් පෙත්සමක් සලකා බැලීමට දින නියම කෙරේ

නිලන්ත ජයවර්ධන ට එරෙහි රිට් පෙත්සමක් සලකා බැලීමට දින නියම කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙසත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සමාජීය හා සාමායික කේන්ද්‍රය විසින් ගොනු කර ඇති රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (27) නියෝග කළේය.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගණයපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව තවත් රිට් පෙත්සමක් දෙකක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව පැවසුවේය.

මෙම පෙත්සම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම මැයි මස 28 වනදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 03 වනදාට පෙර ගොනුකරන ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කරන ලදී.

සමාජීය හා සාමායික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ ගරු ජූඞ් වර්නන් රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ දේවගේ සූරාච් නිලංග යන අය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවෝ කියා සිටින්නේ 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට විදේශීය බුද්ධි සංවිධානයකින් 2019 වසරේ අප්‍රේල් මස 4 වනදා නිලන්ත ජයවර්ධන මහතාට තොරතුරු ලැබී තිබූ බවත් ඔහු ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩු විභාගයේදී සාක්ෂි වලින් අනාවරණය වූ බවත් පෙත්සමේ සඳහන් වේ.

එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින්ද වග උත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා මෙම සිද්ධියට සෘජුව වගකිය යුතු බව නිර්දේශ නිකුත් කර තිබෙන බවත් එහි පෙන්වා දී තිබේ.

ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වග උත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන්ද වරදකරු කෙරුණු බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබූ බවත් පෙත්සමේ සිහිපත් කර තිබේ.

එසේම වග උත්තරකාර නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කළ බවත් එහි සඳහන් වේ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට පියවර ගැනීම නිලන්ත ජයවර්ධන මහතා විසින් පැහැර හැර ඇති බව තහවුරු කරන සාක්ෂි කොපමණ ඉදිරිපත් වී තිබුණත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වගඋත්තරකරුවන් විසින් මෙතෙක් කටයුතු කර නොමැති බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරති.

ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වග උත්තරකාර නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව නිලන්ත ජයවර්ධන මහතා අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.