කොළඹ හතේ සංගීත ගුරුවරියගේ මරණයේ අභිරහස හෙළිවෙයි

කොළඹ හතේ සංගීත ගුරුවරියගේ මරණයේ අභිරහස හෙළිවෙයි

කොළඹ 07 විජේරාම පාරේ නිවසක තනිවම ජීවත් වූ 75 හැවිරිදි සංගීත ගුරුවරියව මරා දමා ඇත්තේ ඇයව දූෂණය කර වයරයකින් ගෙල සිර කර බව එම ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (02) අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබේ.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අවට නිවාස දෙකක හා ආයතන කිහිපයක ආරක්ෂක කැමරා සියුම් ලෙස පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

කුරුඳුවත්තේ පිහිටි තාරවත්ත නමැති මුඩුක්කු නිවාසවල කාලයක් ජීවත්වූ මෙම සැකකරු එම නිවාස කඩා දැමීමෙන් පසු දෙමටගොඩ සියපත් සෙවණ නිවාස සංකීර්ණයේ 06 වැනි මහලේ නිවසක ජීවත් වන බව පොලිසිය කියයි. අවිවාහකයෙක් වන මෙම පුද්ගලයා ජීවත් වන්නේ සිය මවත් නැඟණියත් නැඟණියගේ සැමියාත් ඔවුන්ගේ දරුවාත් පදිංචිව සිටින නිවසේ බවද පොලිසිය සඳහන් කරයි. දුම්වැටියක්වත් උරන්නැති පුද්ගලයෙක් වන ඔහු අවුරුදු 50ක් පමණ වයසැති පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළේය.

මෙම පුද්ගලයා කුරුඳුවත්තේ පිහිටි නිවාසවලට ගොස් ගේ දොර සහ වතුපිටි සුද්ධ පවිත්‍ර කර දෙමින් කීයක් හරි සොයා ගනිමින් ජීවත් වන්නෙක් බවද පොලිසිය සඳහන් කළේය.

මෙම පුද්ගලයා කාන්තාව ඝාතනය වූ පසුගිය 15 වෙනිදාට පෙර දිනක මෙම නිවසට පැමිණ වත්ත පිරිසිදු කර දී ඇති බවද පොලිසිය කියයි.

“ඒ මැඩම් වයස උනාට හරිම ලස්සනයි. වයසයි කියල පේන්නේ නැහැ. මැඩම් කෙරෙහි ආශාවක් ඇති වුණා. ගෙදර කවුරුත් නැහැ කියල මුල්ම දවසේ දැනගත්තා.” යැයි සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

මෙම පුද්ගලයා මෙම කාන්තාව ඝාතනය වූ දිනත් ගෙවත්ත පිරිසිදු කිරීමට පැමිණ ඇති බවත් ගේට්ටුව විවෘත කර ඔහුව ඇතුලට ගෙන ඇත්තේ නිව‍ස හිමි කාන්තාව බවත් පොලිසිය කියයි. එදා එම පුද්ගලයා එහි පැමිණ ඇත්තේ කොට කලිසමකින් හා මෙරුන් පැහැති ටීෂර්ට් එකකින් සැරසී බව ආරක්ෂක කැමරා නිරීක්ෂණයේදී පෙනී ගොස් තිබේ. උදෑසන 8.00ට පමණ නිවසට ඇතුළු වී ඇති ඔහු 10.00ට හෝ ඒ ආසන්න වේලාවකදී නිවසින් පිටව ගොස් ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඇගේ ඝාතනය සිදුව ඇත්තේ ඒ කාලය තුළදී බව පොලිසිය කියයි.

“මම වත්ත සුද්ධ කරමින් හිටියා. මැඩම් මට තේ හදලත් දුන්නා. කන්න පාන් කෑල්ලකුත් දුන්නා. මැඩම් නයිටියක් ඇඳගෙන හිටියේ. මට මැඩම් ගැන ඇති වුණු ආශාවට බෙඩ්ෂීට් එකක් අරගෙන ගිහින් මැඩම්ගේ ඔළුවට දාල එයාව බිම පෙරළගෙන එයත් එක්ක එකට හිටියා. මැඩම් දැඟලුවා. ඒත් කෑගහන්න බැරිවුණා. මම බෙඩ්ෂීට් එක මුහුණට දාල තිබ්බ නිසා.” යැයිද සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

“මට බයක් හිතුණා මැඩම් මේ ගැන කාටහරි කියල මාව පොලිසියට අල්ලල දෙයි කියල. ඒ නිසා මට හිතුණා මැඩම්ව මරන්න. බිම පොලිස් කරන මැෂිම ඒ වෙලාවේ මම දැක්කා. ඒක ඇදල අරන් ඒකේ වයර් එක මැඩම්ගේ බෙල්ලට දාල හිරකළා.” යැයිද සැකකරු පොලිසියට පවසා ඇත.

බිම ඔපදමන යන්ත්‍රයේ වයරය කැඩී ඇත්තේ එසේ ඇගේ ගෙල සිර කරන විටදීය. ඇගේ මළ සිරුර පොලිසියට පසුගිය 15 වෙනිදා හමුවන විට පොලිසිය සැකකරනු ලබන්නේ ඇය බිම ඔපදමමින් සිටියදී විදුලි සැර වැදී ඇති බව ය. ඒ නිවසේ විදුලියද විසන්ධි වී තිබීම හේතුවෙනි.

මෙම කාන්තාව දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම සැකකරු කිසිවක් නොදන්නා අයෙක් ලෙස පෙරවරු 10.00ට පමණ නිවසින් පිටව ගොස් නැවත සවස 3.00ට පමණ පැමිණ ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඒ පැමිණි ඔහු මුළුතැන්ගෙයි තිබුණු ගෑස් සිලින්ඩර් දෙකත්, බොත්තම් ඔබන ඝාතනය වූ කාන්තාව පරිහරණය කළ ජංගම දුරකථනයත්, ලැප්ටොප් පරිගණකයත් ත්‍රිරෝද රථයක දමාගෙන දෙමටගොඩ බලා ගොස් තිබේ. එම භාණ්ඩ දෙමටගොඩ පදිංචි පුද්ගලයෙකුට අලෙවි කර තිබියදී සොයාගැනීමටද පොලිසිය සමත්ව ඇත.

මෙම පුද්ගලයා ගෙවතු පිරිසිදු කිරීමට ගොස් ඉඩක් ලැබුණු විට නිවාසවල ඇති වටිනා කියන දේවල් පවා සොරාගන්නෙක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඔහු සොරාගන්නේ කිසිවෙකුගේ අවධානයට යොමු නොවන නිවාසවල ඇති වටිනා දේවල් බැවින් ඔහුට එරෙහිව පැමිණිලි පොලිසියට ලැබී නැත. මෙම කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව නිවසේ තිබුණු ගෑස් සිලින්ඩර් දෙක පවා සොරාගැනීමට ඔහු පැමිණ ඇත්තේ නිවසේ කිසිවෙකු නොවූ බැවින් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම කාන්තාව මියගොස් සිටි ආකාරයට අනුව මරණය සිදුව ඇත්තේ විදුලි සැර වැදීමකින් බවට සැකයක් පොලිසියට මුලින් ඇති වුවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ සැකකටයුතු මරණයක් ලෙසිනි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී පවා මේ සම්බන්ධයෙන් ලබාදී තිබුණේ විවෘත තීන්දුවකි. ඒ සිරුරේ කොටස් අධිකරණ වෛද්‍යවරයා විසින් රස පරීක්ෂක වෙත යොමු කරමිනි. එහිදී අධිකරණ වෛද්‍යවරයා පොලිසියට දැනුම්දීමක් කර තිබුණේ ඇගේ ගෙල සිර කර ඇති බවට වූ ලක්ෂණ පෙන්නුම් කරන බවය. ඒ අනුව කුරුඳුවත්ත පොලිසියට අමතරව මෙම මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිරන්ජන් අබේවර්ධන මහතා විසින් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පවරනු ලැබීය. එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතා ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙසේ ඝාතනය වී තිබුණේ මිත්‍රානි ප්‍රනාන්දු ස්මිත් නමැති තැනැත්තියකි. ඇය කොලොන්නේ පදිංචිකාරියක් බවත් විවාහයෙන් පසු සැමියා සමඟ කුරුඳුවත්තේ පිහිටි මෙම නිවසේ පදිංචියට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

ව්‍යාපාරිකයෙක් වන සැමියා වසර දෙකකට පමණ පෙර මිය යාමෙන් පසු මෙම නිවසේ ඇය තනිවම ජීවත්ව ඇත. එදා 15 වෙනිදා ඇයව ඝාතනය කළ සැකකරු පලා ගොස් ඇත්තේද නිවසේ දොර ජනෙල් විවෘත කර තිබියදීය. ඒ නිසා සවස් කාලයේ සිට ඇගේ නිවසේ දොරගුළු තිබී ඇත්තේ විවෘතවය. මෙම තැනැත්තියගේ බාල සහෝදරයා වන නීතිඥවරයෙකුගේ පුතා ඔහුගේ මෝටර් රථය නවතා තබන්නේ මෙම නිවස පිහිටි ගෙවත්තේ බව පොලිසිය කියයි. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන ඔහු පදිංචිව සිටින්නේ යැයි කියැවෙන්නේ මොරටුවේය. ඇගේ නිවසේ දොර ජනේල් විවෘත කර විදුලියද විසන්ධිව ඇති බව එදින රාත්‍රී කාලයේ දුටු එම ඉංජිනේරුවරයා ඒ ගැන 119 හරහා පොලිසිය දැනුවත් කර ඇත්තේ ඇති වුණු යම් සැකයක් මතය.

එම පණිවුඩයට අනුව කුරුඳුවත්ත පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඇගේ සිරුර නිවසේ බිම මුණින් අතට වැටී තිබී හමුවී ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ගෙන්වාගෙන තිබේ. මුණින් අතට වැටී සිටි ඇයව උඩුබෙලි අතට හරවා පරීක්ෂා කර එම ගිලන් රථ සේවාවේ අය පවසා ඇත්තේ ඇය මියගොස් සිටින බවය.

ඇය බිම වැටී සිටි ස්ථානයේ ලේ පැල්ලම් කිහිපයක්ද තිබී ඇත. ඒ මුව සහ පපු ප්‍රදේශය ආශ්‍රිතවය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ පපු ප්‍රදේශයේ තුවාල කිසිවක් නැති බවය. මුවින් පිටවූ රුධිරය පපු ප්‍රදේශයට ගලාගෙන ගොස් ඇති බව අනුමාන කෙරේ. ඇගේ මුවින් ලේ ගලාගෙන ගොස් ඇත්තේ ගෙල සිර කිරීමේදී බව මේ වන විට අනාවරණය වී ඇත.

මෙම කාන්තාවට දරුවන්ද නොමැති බව පොලිසිය කියයි.

ඇගේ සිරුර හමුවන විට මුළුතැන්ගෙයි තිබී සෝදා පිරිසිදු නොකළ තේ කෝප්ප තුනක්ද පොලිසියට හමුවී තිබුණි. ඒ එක් කෝප්පයක් මෙම සැකකරු තේ පානය කළ එක බව පොලිසිය සැක කරයි. එම තේ කෝප්පවල තිබී ඇඟිලි සලකුණු කිහිපයක්ද පොලිසියට හමුවී තිබුණි. එම ඇඟිලි සලකුණු හා මෙම සැකකරුගේ ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු කරන බව පොලිසිය කියයි.

තේ කෝප්පවලට අමතරව රොටි 09ක්ද මුළුතැන්ගෙයි තිබී හමුවී තිබුණි. එම රොටි ගුරුවරිය උදෑසන ආහාරය සඳහා සකස් කරගත් ඒවා විය හැකි බවට සැක කෙරේ.

මියගොස් සිටින මෙම කාන්තාව පියානෝ වාදනය සම්බන්ධයෙන් දක්ෂ ගුරුවරියක් බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. ඇගෙන් පියානෝ වාදනය ඉගෙන ගැනීමට කිහිප දෙනෙකු මෙම නිවසට පැමිණෙන බවද පොලිසිය සඳහන් කළේය. විමර්ශනයේදී ඒ අයගෙන්ද පොලිසිය ප්‍රශ්න කර තිබුණි.

කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන් අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරීවරුන් වන අනිල් ජයන්ත, කීර්තිසිංහ, යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ ද සහාය ඇතිව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතාගේ නායකත්වයෙන් උප පොලිස් පරීක්ෂක මෙරිනෝ, සැරයන්වරුන් වන චන්දන (36919), මාලිංග (68039), විපුල (30861), කුෂාන්තන් (969631), මධුසංක (36591), ඉෂාර (104928), පොලිස් කොස්තාපල් රියැදුරු වර්ණසූරිය (99023) යන නිලධාරීන් විසින් මෙම විමර්ශනයට සම්බන්ධව සිට ඇත.

ගයාන් කුමාර වීරසිංහ

Share This