ඉළ ඇට 22ක් කඩෙන තුරු පහර දී මව ඝාතනය කළ තිරිසන් පුතෙක්

ඉළ ඇට 22ක් කඩෙන තුරු පහර දී මව ඝාතනය කළ තිරිසන් පුතෙක්

ඉළ ඇට විසි දෙකක් කැඩෙනතුරු පහරදී 67 හැවිරිදි තම මව මැරූ 41 හැවිරිදි පුතකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ නාවලපිටිය බෝහිල් උඩ කොටසේ පදිංචිව සිටි එස්. සෙල්ලම්මා නමැති දෙදරු මවක් වන අතර සති දෙකක් තුළ ගම්පොල පොලිස් කොට්ඨාසයේ පුතකු විසින් පහර දී මව මැරූ දෙවන අවස්ථාව මෙය වේ.

සිය බාල පුතුගේ පහර දීමෙන් මවගේ හිස අභ්‍යන්තරයේ බහුවිධ තුවාල සිදු වී හකු ඇටය සහ ඉළ ඇට විසි දෙකක් බිඳී ඇති බව නාවලපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුචිර නදීර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිකර තිබිණි.

සැකකරු මීට පෙර ඔහුගේ පියාටද හිසට පහරදී තුවාල සිදු කිරීම නිසා එම පියා ඔවුන්ගේ වැඩිමහල් දියණියගේ නිවසේ පදිංචියට ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම පසුගිය 17 වැනිදා මොහුගේ බිරිඳට ද පහර දීම නිසා ඇයද දරුවා රැගෙන ඇගේ මහ ගෙදරට ගොස් තිබේ.

ඉන්පසු සැකකරු ඔහුගේ මව සමග වසරක පමණ කාලයක් නිවසේ සිට ඇති අතර පසුව මව සමග ආරවුල් ඇතිකරගෙන තමා වයස අවුරුදු දාසයේ සිට කුලී වැඩට යැවූ බවත් තමා ගැන සොයා නොබැලූ බවත් පවසමින් ඇයට පහර දී තිබේ.

ඒ අනුව පසුගිය 20 වැනිදා උදෑසන අටට පමණ මෙලෙස සිය මවට පහර දී නිවස තුළට දමා දොර වසා මොහු නාවලපිටිය නගරයට ගොස් තිබේ.

නැවත සවස හතරට පමණ නිවසට පැමිණ දොර හැර බලන විට මව මියගොස් සිටි බව දැක ඒ බව අසල්වැසියන්ට දන්වා තිබේ.

අසනීපව සිටි මව මිය ගොස් ඇති බව පොලිසියට දන්වා මරණය පිළිබඳ සැකයක් නොමැති බවද සැකකරු පවසා තිබේ.

ඉන්පසු නාවලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර පහරදීම නිසා සිදුවූ බහු විද තුවාල වලින් ඇය මියගොස් ඇති බව හෙළි කර තිබිණි.

මෙම සැකකරු මවට පහර දීම පිළිගෙන ඇති බව පොලිසිය පවසන අතර ඔහු සඳහන් කර ඇත්තේ ඔහුට හදි හූනියම් කර ඇති නිසා වසරක පමණ කාලයක සිට තමාට කේන්ති යන බවයි.

Share This