පොලිස් අත්අඩංගුවෙන් පසු මිය ගිය තරුණයාට පොලිසියේදී එල්ලා පහර දීලා !

පොලිස් අත්අඩංගුවෙන් පසු මිය ගිය තරුණයාට පොලිසියේදී එල්ලා පහර දීලා !

පොලිස් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය ගිය යාපනයේ තරුණයා මිය ගොස් ඇත්තේ පොලිස් අත්අඩංගුවේ දී සිදුවූ කෲර පහරදීම් හේතුවෙන් අභ්‍යන්තර අවයව වලට ඇති වූ හානි වීම් නිසා බව මරණ පරීක්ෂණයේ දි හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගෙන එල්ලා පහරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරනු ලැබූ මෙම තරුණයා බන්ධනාගාරය තුළ දී රෝගී වීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මියගිය තරුණයා සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔහුට දැඩි ලෙස පහර දීම නිසා ඔහුගේ වකුගවලට හා තවත් අභ්‍යන්තර අවයව වලට හානි සිදුවීමෙන් මෙම මරණය සිදුවී ඇති බවය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

යාපනයේ වඩුක්කෝඩෙයි සිත්තන්කේණී ගම්මානයේ පදිංචි 27 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් නැමති තරුණයෙක් මීට දින හතරකට ඉහතදී වඩුක්කෝඩෙයි පොලීසිය විසින් හොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව පොලිස් ස්ථානයට ගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණේ දැඩි ලෙස පහර දෙමිනි.

මෙම පහරදීමෙන් අනතුරුව තරුණයාව පොලිසිය තරුණයාව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අතර අධිකරණ නියෝග මත ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

එහිදී රෝගී වූ තරුණයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ ඔහු පහර දී මරා දමා ඇති බවය.

මේ අමානුෂික පහරදීම සම්බන්ධව තවත් සාධක දෙකක් අනාවරණය වී ඇත.

එකක් නම් පොලිස් අත්අඩංගුවට පත් තරුණයාගේ දෑත් ගැට ගසා ඔහුව එල්ලා ඔහුට පහර දී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප කීපයක් හා හඩ පටයක් ඔහු පොලිස් අත් අඩංගුවේදීම සිය මිතුරන් කීප දෙනෙකු වෙතම යවා තිබීමය.

දෙවැන්න තරුණයාව අත් අඩංගුවට ගත් අවස්ථාවේම ඔහුට පොලීස් නිලධාරීන් පහර දෙන බවට ලද ආරංචියක් මත තරුණයාගේ දෙමව්පියන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයට ඉදිරිපත් කර ඇති පැමිණිලි දෙකය. මරණ පරීක්ෂණයේ විද්‍යාත්මක සාධක සමග ගැලපෙන්නේ මෙම කරුණුය.

මෙම මරණය පොලිසි පහරදීමකින් සිදුවූ බව සනාථ වීමත් සමගම කුපිත වූ ජනතාව වඩුක්කෝඩෙයි පොලීසියට පහර දීමට කණ්ඩායම් වශයෙන් පැමිණිහය. එම අවස්ථාවේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය හා ආරක්ෂක අංශ නිලධාරීන් කැඳවා මාර්ග බාධක යොදා පොලිස් ස්ථානයේ ආරක්ෂාව දැඩි කර මිනිස්සුන්ගෙන් පොලිසිය බේරා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

 

Share This