උමගේ ගැටුමෙන් අයෙක් මරුට – තිදෙනෙක් රෝහලට

උමගේ ගැටුමෙන් අයෙක් මරුට – තිදෙනෙක් රෝහලට

මොරගහකන්ද ජල ව්‍යාපෘතිය යටතේ ඉදිවන උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ, අනුරාධපුර පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, මීගස්වැව උමගේ සේවකයින් කිහිප දෙනෙකු අතර, ඊයේ (17) ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම මත ඇතිවු අරවුලක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මොරගොඩ පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ගලින් බිදිනවා ආසිරිගම අල්මිල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි එච්. එම්. නන්දන තිලක නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ දහවල් 12ත් 12.15ත් අතර කාලයේ මොරගොඩ පොලිස් වසමේ මහ මීගස්වැව ප්‍රදේශයෙන් ඉදිවෙමින් පවතින උමගේ සේවකයින් කීප දෙනෙකු අතර මෙම ගැටුම හටගෙන ඇති අතර එම අවස්ථාවේ එම ස්ථානයේ සේවය කරමින් සිටි සේවකයින් තිදෙනෙකු විසින් තවත් සේවකයින් 4 දෙනෙකුට පිහියකින් ඇනීම හේතුවෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පිහි ඇණුම් හේතුවෙන් බරපතල තුවාල ලැබු දෙදෙනෙකු පොලොන්නරුව රොහලටත් එක් අයකු දඹුල්ල රෝහලටත් ඇතුලත් කර ඇති බව මොරොගොඩ පොලිසිය සදහන් කළේය.

සිද්ධියට අදාල සැකකරුවන් මීගස්වැව ප්‍රදේශයේ කැලෑවකට පැන ගොස් ඇති අතර සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර මේ වන විට මොරගොඩ පොලිස් ස්ථානයේ පොලීස් කණ්ඩායම් කිහිපයක් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා මීගස්වැව රක්ෂිතයේ මෙහෙයුමක් අරම්භ කර ඇති බව වාර්තා වේ.

සිද්ධියට අදාලව මොරගොඩ පොලිස් ස්ථානයේ පොලීස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදී අපරාධ අංශය මගින් පරික්ෂණ පවත්වනු ලබයි.

Share This