අඟහරු තරණය සඳහා පුහුණු වන කණ්ඩායමට තෝරාගත් ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය

අඟහරු තරණය සඳහා පුහුණු වන කණ්ඩායමට තෝරාගත් ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය

නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා සිදුකරන පර්යේෂණයකට ශ්‍රී ලාංකික පර්යේෂණ විද්‍යාඥවරියක් වන වන පියුමි විජේසේකර තෝරාගෙන තිබේ.

අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සකසන ලද අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක මෙම පෙර පුහුණුවීම් සිදු කිරීමට නියමිතයි.

මෙම පුහුණුවීම් සඳහා ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇති අතර එම හතර දෙනා අතරටයි පියුමි විජේසේකර නම්කර ඇත්තේ.

ඇයට අමතරව ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති යන පිරිස එම කණ්ඩායමට ඇතුළත් අතර ඔවුන් මැයි 10 සිකුරාදා හූස්ටන්හි ඉදිකර ඇති අඟහරු තරණය කිරීමේ අනුකරණ මධ්‍යස්ථානය වන HERA නමින් හැඳින්වෙන අංශය වෙත පිවිසීමට නියමිතයි.

එම අංශය වෙත පිවිසි පසු, දින 45ක කාලයක් ඔවුන් එම පරිසරය තුළ ගගනගාමීන් ලෙස ජීවත්වීමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කළේය.

කාර්ය මණ්ඩලය ‘යළි පෘථිවියට පැමිණීම’ සටහන් කිරීමෙන් පසු ජුනි 24 වැනි දින ඔවුන්ට අදාළ පරිශ්‍රයෙන් පිටව යෑමට හැකිය.

නාසා ආයතනය සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හුදකලාවට හුරුවීම සහ දුරස්ථ තත්ත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීමට ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති මෙම මෙහෙයුම් කලාපය භාවිත කරයි.

ඊට විද්‍යාත්මක පර්යේෂණ සහ මෙහෙයුම් කාර්යයන් සේම අඟහරු මත ඇවිදීම වැනි පුහුණුකිරීම් ද ඇතුළත්ය.

පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියකි.

විජේසේකර සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, පෙන්හි පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ඇත.