මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි

මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි

එක්සත් ජනපද සෙනෙට් සභාවේ පැවති නඩු විභාගයකදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින් තම දරුවන්ට සමාජ මාධ්‍ය මගින් හානි වූ බවට චෝදනා කළ පවුල්වලින් සමාව ඉල්ලා තිබේ.

මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි ආවස්ථාවේදී යි.

ඊයේ (31) පැවති මෙම විශේෂ විමර්ශන කමිටුව හමුවට, මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප් (Snap), ඩිස්කෝඩ් (Discord) සහ පෙර ට්විටර් (Twitter) ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය ආයතන 5ක විධායක නිලධාරින් කැඳවා තිබූ අතර සෙනෙට් සභිකයින් විසින් පැය හතරකට ආසන්න කාලයක් ඔවුන්ගෙන් ප්‍රශ්න කළ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එහිදී, මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බවට අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන ප්‍රධානීන් විසින් එකඟ වී තිබේ.

මාර්ගගත ක්‍රමවේදයන්හි පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් සමාජයට ඇති වී තිබෙන අහිතකර බලපෑම් නැවැත්වීමට අදාළ ආයතන අපොහොසත් වීම පිළිබඳ එහිදී හේතු විමසා තිබේ.

මෙම කණ්ඩායමේ සමාජ මාධ්‍ය වේදිකා තුළින් විවිධ පාර්ශ්වයන්ට සිදු වන හානිය නැති කිරීමට ඔවුන් ස්වේච්ඡාවෙන්ම අපොහොසත් වීම නිසා ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන මෙම ආයතනවල ප්‍රධානීන් මෙහිදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.