නව කම්කරු නීති කෙටුම්පත් කිරීම ලබන මාසයේ

නව කම්කරු නීති කෙටුම්පත් කිරීම ලබන මාසයේ

නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුල වන විට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බවත්, එම දළ කෙටුම්පත ආයෝජන කලාපද ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියයි.

කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සදහා වන ඉන්ෆ්ල්ක්ස් බුද්ධිමය සංවාද වේදිකාවේ සිව් වැනි සැසියට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා

අලුතින් ගෙන ඒමට බලාපොරොත්තු වන නව කම්කරු නීතිය සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවක් ඇතිකර ගැනීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඒ සඳහා ජනමාධ්‍ය වලින් අපට ලොකු සහයෝගයක් ලබාදෙනව. ඒ සම්බන්ධයෙන් සියළුම මාධ්‍ය ආයතනවලට අපි අපේ ස්තුතිය පළකරනව.

ඒ වගේම අපිට ආරංචි වෙලා තියෙනව මේ වෙන කොට මේ සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් තැන්වල විවිධ සංවාද ආරම්භ කරන්න සූදානම් කරල තියෙනව කියල. මෙන්න මේක තමයි අපට ඕන කරල තිබුණු දේ.

අලුත් කම්කරු නීතිය හදන එක සම්බන්ධයෙන් සමාජයේ සෑම ස්ථරයකම කතාබහක් ඇති විය යුතුයි. සමාජයේ සෑම ස්ථරයකම,අලුතෙන් හදන මේ කම්කරු නීතිය පිළිබඳව යෝජනා,චෝදනා,විරෝධතා සහ සැක සංකා ඉදිරිපත් විය යුතුයි. විවිධ මත ඉදිරිපත් උනොත් තමයි මේ කටයුත්ත වඩාත් ශක්තිමත්ව කළ හැකි වන්නේ.