රුපියල් හතලිස් තුන්ලක්ෂ හතලිස් දෙදහසක් වටිනා දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් හතලිස් තුන්ලක්ෂ හතලිස් දෙදහසක් වටිනා දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් හතලිස් තුන් ලක්ෂ හතලිස් දෙදහසක් වටිනා විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ මග හැර , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි , ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ” යුක්තිය ” මෙහෙයුම යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .මේවායේ වටිනාකම රුපියල් හතලිස් තුන් ලක්ෂ හතලිස් දෙදහසක් බව කියයි.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් වෙත පෞද්ගලිකව ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණි.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා කොළඹ , බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සහ 25 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් විදේශීය භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකි.

මොවුන් ඊයේ (20) දින දහවල් 12.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී.- 832 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම ” මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 33,400 ක් සගවා ගෙන තිබියදී පොලිසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ධම්මික , උප පොලිස් පරීක්ෂක චන්දන , කාන්තා පොලිස් සැරයන් 5696 ප්‍රියදර්ශනී සහ පොලිස් සැරයන් රියැදුරු 3669 ප්‍රියන්ත යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .

මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාට එරෙහිව අද (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරීමට නියමිතය.