මෙරට සිටින මාලදිවයින් වැසියන්ට විශේෂ දැනුම් දීමක්

මෙරට සිටින මාලදිවයින් වැසියන්ට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබේ.

දැනට පවතින ක්‍රියා පටිපාටිය අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා ගත හැකි බවයි , ඔවුන් එහි සඳහන් කර තිබෙන්නේ.

එමෙන්ම දින 30කට වැඩි රැඳී සිටීමක් සඳහා, මාලදිවයින් ජාතිකයින්ට https://www.srilankaevisa.lk/යන වෙබ් අඩවියට පිවිස නොමිලේ මාස 6ක වීසා බලපත්‍රයක් සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කළ හැකි අතර මෙම වීසා බලපත්‍රයට පරිපාලන ගාස්තුවක් අය කරනු ඇති බවද දන්වා තිබේ.

එසේ නොමැතිව දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින සහ වීසා දිගුවක් අවශ්‍ය මාලදිවයින් ජාතිකයින් සඳහා කොළඹ මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ නව විද්‍යුත් වීසා ක්‍රමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග මාලදිවයින් සංචාරකයින් ට එහි බලපෑමක් නොමැතිව නිරවුල්ව සිය සංචාරය සිදුකර ගැනීම සහතික කිරීම සඳහා මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක වීසා සම්බන්ධයෙන් මෑත කාලීනව සිදුකළ වෙනස්කම් පිළිබඳව පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවය.

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මාලදිවයින් වැසියන්ට වැඩිදුර සහාය අවශ්‍ය නම් ඒ සඳහා එරට අමාත්‍යාංශය හා සම්බන්ධ විය හැකි බව දැනුම් දී තිබේ.

Share This