නීති විරෝධීව මැලේසියාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් 158 දෙනා අතර ලාංකිකයින්

නීති විරෝධීව මැලේසියාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් 158 දෙනා අතර ලාංකිකයින්

මැලේසියාවේ මහල් නිවාස සංකීර්ණයක් තුළ කළ වැටළීමකදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයන් 158 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බව වාර්තා වේ.

Bercham මහල් නිවාසයේ සිදුකළ පරීක්ෂාවේදී සංක්‍රමණිකයන් 358 දෙනකු හමු වූ බවත් ඉන් 158 දෙනකුට මැලේසියාවේ රැඳී සිටීමට වලංගු වීසා බලපත්‍ර නොමැති බව හෙළිවූ බවත් එරට ආගමන අධ්‍යක්ෂ Meor Hezbullah Meor Abd Malik පවසයි.

ඒ හේතුවෙන් මේ වනවිට ඔවුන් රඳවාගෙන සිටින බව ඔහු සඳහන් කළේය.

එලෙස රඳවාගෙන සිටින පිරිස අතර අවුරුදු 9ත් 60ත් අතර වයස්වල පසුවන පිරිමින් 83ක්, කාන්තාවන් 54 ක්, දරුවන් 8 ක් සහ දැරියන් 3ක් සිටින බව වාර්තා වේ.

ඔවුන් සියල්ලෝම ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, චීනය, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවලින් පැමිණි අය වෙති.

“මෙම පුද්ගලයන්ගෙන් වැඩිදෙනෙක් ප්‍රදේශයේ ඉඩම් හිමියන්ගෙන් මහල් නිවාස කුලියට ගත් අයයි. මෙහෙයුමේදී නිවාස ඒකක 560ක් පමණ අපි පරීක්ෂාවට ලක්කළා, ” යනුවෙන් ආගමන අධ්‍යක්ෂ Meor Hezbullah Meor Abd Malik පවසයි.

නිසි අවසරයකින් තොරව තම දේපළ විදේශිකයන්ට කුලියට නොදෙන ලෙස ඔහු නිවාස හිමියන්ට අනතුරු අඟවයි.

එසේ කිරීමෙන් 1959/63 ආගමන විගමන පනතේ 55 (E) වගන්තිය යටතේ චෝදනා එල්ල විය හැකි බවත්, ඒ වෙනුවෙන් මැලේසියානු රිඟිට් 30,000ක උපරිම දඩයක් හෝ මාස 12ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි බවත් ඔහු පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ලේඛන නොමැති සංක්‍රමණිකයන්ට තම නිවාස කුලියට දුන් සෑම නිවාස හිමියෙකු ගැනම දෙපාර්තමේන්තුව විමර්ශනය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Share This