කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තුවට

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තුවට

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජනබලවේග පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

පසුගිය දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයට රැස් වූ සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීය.

නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්.පීරිස්, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ එම්.ඒ. සුමන්දිරන්, විපක්ෂයේ ස්වාධීනව කටයුතු කරන චන්දිම වීරක්කොඩි සහ ශ්‍යාන් විජේලාල් ද සිල්වා යන මහත්වරුන් අතුළු පිරිසක් යෝජනාවට අත්සන් කර තිබේ.

කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කළැයි මේ යෝජනාවෙන් පෙන්වාදී ඇති අතර ආසන්න සිද්ධිය ලෙස සඳහන් කර ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත සම්මත කර ගැනීමේ අවස්ථාවයි.

සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ, විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්ට භාර දීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.