වී ඇටයක්වත් නොහදපු සතොස සහල් සැකසීමේ මධ්‍යස්ථාන 02ක් සේවකයින්ට කෝටි ගණනක වැටුප් හා අතිකාල ගෙවලා

වී ඇටයක්වත් නොහදපු සතොස සහල් සැකසීමේ මධ්‍යස්ථාන 02ක් සේවකයින්ට කෝටි ගණනක වැටුප් හා අතිකාල ගෙවලා

සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් හිඟුරක්ගොඩ හා පන්නේගමුව සහල් සැකසිමේ සංකිරණවල 2021 වර්ෂයේ දී කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුකොට නොමැති නමුත් සේවක වැටුප්, අතිකාල දීමනා ඇතුළු සේවක පිරිවැය සඳහා රුපියල් එක්කෝටි තිස්නමලක්ෂ දෙදහස්හාරසිය හතලිස් දෙකක (13,902,442) වියදමක් දරා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම සහල් සැකසිමේ සංකිර්ණ දෙක දැනට වසර 18කට ආසන්න කාලයක සිට ඌණ උපයෝජිතව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම සහල් සංකිර්ණ දෙකෙහිම පැයකට සහල් කිලෝග්‍රැම් 2000ක් බැගින් සැකසීමේ ධාරිතාවයක් පවතී. කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුනොකළද 2021 වර්ෂයේ සේවකයින් 03 සිට 20 දක්වා සේවක සංඛ්‍යාවක් එහි සේවය සඳහා යොදවා තිබුණි.

එමෙන්ම මෙම සහල් සැකසිමේ සංකිරණ දෙකට අනුබද්ධ ගබඩා 04ක් නිෂ්කාර්යව පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සංස්ථාවේ දේපල ආදායම් ඉපයිම සඳහා කාර්යක්ෂමව යොදාගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මෙහිදි සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2021 වර්ෂයේ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සිමාසහිත වු අතර එම වී තොග සතොස හා පුද්ගලික අංශය වෙත එකවර නිකුත් කිරීමට කටයුතු කරඇති බවය.

එම කාලය තුළ සතොස වෙත ලබාගත හැකිව තිබු සීමිත වී තොග ප්‍රමාණය පමණක් සහල් ලෙස සැකසීම සිදුකළ බව කළමනාකාරිත්වය දන්වා ඇත.

ගොවින් ප්‍රධාන වශයෙන් තෙත සහිත වී නිෂ්පාදන වන බැවින් එම වී තොග මිලදී ගෙන සැකසීම සඳහා මාස කිහිපයක් ගබඩාකර පවත්වා ගැනීමට අවශ්‍ය වී වියලිමේ පහසුකම සතොස සතුව නොමැති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

මෙකි සහල් සැකසීමේ සංකිර්ණයට අනුයුක්ත සේවකයින් සහල් සැකසීමේ කටයුතු සඳහා පුහුණු සේවකයින් බැවින් ඔවුන් වෙනත් කාර්යකට යෙදවීමට නොහැකි බවත් ගබඩා නිෂ්කාර්යව පැවතියත් ඒවා නඩත්තුකර සහල් සැකසිමේ යන්ත්‍ර පවිත්‍රකිරීම, භුමිය ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා එම සේවකයින් යොදාගනු ලබන බවත් කළමනාකරණය විගණනයට පවසා ඇත.