බුලත් කොළේ තෙලට හරවා මදුරුවන් එළවන්න යයි

බුලත් කොළේ තෙලට හරවා මදුරුවන් එළවන්න යයි

මදුරු දඟර දහනය වීමේදී නිකුත් වන දුම කුඩා ළදරුවන්හට අහිතකර වියහැකි බැවින් ඒ සඳහා විකල්පයක් ලෙස බුලත් මගින් නිෂ්පාදනය කළ මදුරු විකර්ෂක ආලේපන භාවිත කළ හැකි බව අතුරු වගා හා බුලත් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

නිස්සාරණය කරන ලද බුලත් තෙල් යොදා ගනිමින් මෙම ආලේපනය නිෂ්පාදනය කළ හැකි අතර වෙළෙඳපළ තුළ අලෙවි වන විවිධ සංඝටක අඩංගු මදුරු විකර්ෂක නිෂ්පාදන දරුවන් සඳහා භාවිත කිරීමට වඩා බුලත්වල ස්වාභාවිකවම මදුරු විකර්ෂක ගුණයක් පවතින බැවින් මෙම නිෂ්පාදනය දරුවන්ට භාවිත කිරීමේ හැකියාව පවතින බව අතුරු වගා හා බුලත් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) ප්‍රවීනා දිසානායක පැවසුවාය.

එමෙන්ම නිෂ්පාදකයකු සිටී නම් මීට අමතරව මදුරු විකර්ෂක දියරද නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවත් බුලත් ආශ්‍රිත මේ සියලු අගය එකතු කළ නිෂ්පාදන තම පර්යේෂණ ආයතනය මගින් දීර්ඝකාලීනව සිදුකළ පර්යේෂණ ප්‍රතිඵල බවත් බුලත් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසූයේ වාර්ෂිකව එක් කාලසීමාවකදී බුලත් මිල පහළයාම හේතුවෙන් බුලත් අපතේ දමන තත්ත්වයක්ද රට තුළ පවතින බැවින් එවැනි කාලසීමාවලදී බුලත් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සිදුකිරීම මගින් ගොවීන්හට ආදායමක් ලබාගත හැකි බවයි.