ටොන් 5ක ලන්ච් ෂීට් පුත්තලම සිමෙන්ති කම්හලේදී විනාශ කෙරේ

ටොන් 5ක ලන්ච් ෂීට් පුත්තලම සිමෙන්ති කම්හලේදී විනාශ කෙරේ

පාරිභෝගික කටයුතු සේවා අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරනලද වැටලීම්වලදී අත්අඩංගුවට ගත් ජාතික පාරිසරික පනත යටතේ තහනම් කරන ලද රුපියල් ලක්ෂ තිහකට ආසන්න පොලිතින් ආහාර දවටන (ලන්ච් ෂීට්) කිලෝ ග්‍රෑම් 5377ක් අධිකරණ නියෝග මත පුත්තලම සිමෙන්ති කම්හලේදී පෙරේදා (19) සවස විනාශ කිරීමට කටයුතු කෙරුණි.

කොළඹ ප්‍රධාන, කැස්බෑව, කඩුවෙල, ගම්පහ සහ කුරුණෑගල යන අධිකරණ කලාප පහ තුළ පාරිභෝගික සේවා අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා අදාළ පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීම්වලදී ඉදිරිපත් කළ නඩු 12ක නඩු භාණ්ඩ වශයෙන් තිබූ මෙම පොලිතින් ආහාර දවටන මෙසේ විනාශ කර තිබේ.

2017 සැප්තැම්බර් 01 වැනිදා ජාතික පරිසර පනතට අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සන්නාම නාමය, නිෂ්පාදිත දිනය හා ආයු කාලය, මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය ඇතුළු කරුණු නවයක් අඩංගු තොරතුරු ලේබල්ගත නොකළ පොලිතින් ආහාර දවටන නිෂ්පාදනය කිරීම, ප්‍රදර්ශනය කිරීම, විකිණීම සහ භාවිත කිරීම තහනම් කෙරිණි.

මෙම කරුණුවලට පටහැනිව ක්‍රියාකරන දිවයින පුරා පොලිතින් ආහාර දවටන නිෂ්පාදනය කරන ආයතන, අලෙවි කරන වෙළෙඳසල් පාරිභෝගික කටයුතු සේවා අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය එකතුවෙන් වැටලීම් සිදුකිරීමට කටයුතු කෙරිණි.

පාරිභෝගික කටයුතු සේවා අධිකාරියේ හා මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන නිලධාරීන් හා පුත්තලම ඉන්සි එකෝසයිකල් (insee ecocycle) ආයතනයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම පොලිතින් ආහාර දවටන විනාශ කිරීම සිදුකෙරිණි.

මෙසේ ප්‍රමිතියෙන් තොර පොලිතින් ද්‍රව්‍ය පරිසරයට එකතු වීම නිසා මහජනතාවට සෞඛ්‍ය තර්ජන ඇතිවීමටත් විවිධ පාරිසරික ගැටලුවලට මුහුණපෑමට සිදු වන බවත් ඒ හේතුවෙන් මෙවැනි තහනම් නියෝග පනවා ඇති පොලිතින් ආහාර දවටන මිලදී ගැනීමට කටයුතු නොකරන ලෙස මහජනතාවගෙන් හා වෙළෙඳාම් කිරීම හා නිෂ්පාදනය කිරීමට ද කටයුතු නොකරන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. එස්. ජයතිස්ස මහතා ඉල්ලා සිටියි.

Share This