කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයෝ 54ක් දිවයිනට

කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයෝ 54ක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 54 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද (16) උදෑසන දිවයින වෙත එවා තිබුණි.

මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 53 දෙනෙකු සහ එක් ගෘහ සේවකයෙකු සිටි අතර ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර, ඉතිරි පිරිස පොළොන්නරුව, මොණරාගල, ගාල්ල, මාතර ආදී දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ වෙති.

මොවුන් තම ගිවිසුම් ගත රැකියා ස්ථාන වලින් පළා ගොස් දීර්ඝ කාළයක් කුවේට් රාජ්‍යයේ වෙනත් ස්ථාන වල වැඩි වැටුපකට රැකියා වල නිරත වී සිට, පසුව ඔවුන් රෝගී තත්වයන්ට ගොදුරු වීම, ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ පවුල් වල ගැටළු මතු වීම, සිය වයස් සීමා ඉක්ම යාම වැනි හේතු නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කර තිබේ.

ඒ අනුව, මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර , ඉන්පසුව එම තානාපති කාර්යාලීය නිලධාරීන් එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය සහ අධිකරණය සමග එක්ව කටයුතු කර තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර මෙසේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එරටින් පිටුවහල් කර එවා තිබුණි.