කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නැමති ප්‍රධාන සැකකරු අධිකරණයට බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (06) නියෝග කළේය.

සැකකරු මෝසමක් මගින් සිය නීතිඥයින් හරහා අධිකරණයට බාරවීමෙන් අනතුරුව එසේ ඇප නියම විය.

සැකකරු එසේ මෝසමක් මගින් විවෘත අධිකරණයට බාරවීමේදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකරු අධිකරණය, නීතිය හෑල්ලුවට ලක්කරමින් වසංව සිටි බවයි.

එමෙන්ම රජයේ නිළධාරීන් කාලය ශ්‍රමය කැපකරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම සැකකරු සෙවූ බවත් මාධ්‍ය මේ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදුන් පසුබිමක නීතිගරුක පුද්ගලයකු නම් පොලිසියට ඉදිරිපත්වීමට හැකිව තිබූ බවත් පැවසීය.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවූ සුසිත ජයවංශ නමැති තරුණයා මීට දින කිහිපයකට පෙර අතුරුදන්විය.

ඔහු අවසන්වරට සිය පෙම්වතියගේ පියාගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව ඇයගේ නිවසට ගොස් තිබුණි.

එහිදී ඔහුට පෙම්වතියගේ පියා, පෙදරේරුවන් දෙදෙනෙකු සමග එක් වී පහරදී ඇතැයි අනාවරණ වූ බව පොලීසිය පැවසීය.

ඒ අනුව, අත්අඩංගුවට ගත් පෙදරේරුවන් දෙදෙනා පොලීසියට පාපෝච්චාරණය කර ඇත්තේ, අදාළ තරුණයා ප්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට රැගෙන යා යුතු බව පෙම්වතියගේ පියා පැවසූ බවය.

සිද්ධියෙන් පසුව ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ, අතුරුදන් තරුණයාගේ පෙම්වතිය වන සිය දියණිය සහ පුතුන් දෙදෙනා මෙන්ම ප්‍රධාන සැකකරුගේ සහෝදරිය හා ඇයගේ සැමියාද සිය නිවෙස් අතහැර ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට වාර්තා විය.

Share This