සාපෙළ විභාගය නිම වී ගෙදර යමින් සිටි සිසුවිය මඟදී පැහැරගෙන
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවෙස බලා යමින් සිටි 16 හැවිරිදි සිසුවියක වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටි තරුණයන් සිව්දෙනෙක් කටුගස්තොට කුළුගම්මන යටිහලගල ප්‍රදේශයේදී අලදෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුවිය දහවල් 12.30 ට පැහැරගෙන තිබෙන අතර පැයක කාලයකදී සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන් හල්ඔළුව මාර්ගය ඔස්සේ පේරාදෙණියට ගමන් කරමින් සිට ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනා අතර සිටින විසිහතර හැවිරිදි තරුණයකු මෙම සිසුවිය හා ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙන බවට පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
විවාහකයකු වන එම සැකකරු හිටපු හමුදා සෙබළකු වන අතර ඔහු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි සිසුවියගේ සහෝදරයකු හමුදා සේවයේ නියුක්තව සිටින බවත් ඔහු සමඟ අවස්ථා ගණනාවකදී නිවෙසට පැමිණ තිබෙන ප්‍රධාන සැකකරු සිසුවිය හා ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමෙන් පසුව ඇයව රැගෙන ගොස් වෙනත් නිවෙසක නවත්වා තිබෙන බවත් පරීක්ෂණ මඟින් හෙළිව ඇත.
ඔහු විවාහකයකු බව දැන ගැනීමෙන් පසු සිසුවිය යළි පොලොන්නරුවේ නිවෙස කරා පැමිණ ඇත. අදාළ තරුණයාගෙන් නිතර සිදුවන බලපෑම් හේතුවෙන් මවුපියන් ඇයව මහනුවර කුළුගම්මන ප්‍රදේශයේ ඥාති නිවෙසක නතර කර ඇත.
ප්‍රධාන සැකකරු එම නිවෙසට ද පැමිණ සිසුවිය රැගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය බව පවසා ඇය යළිත් කුළුගම්මන නිවෙසට පැමිණ ඇත. විභාගය නිමා වීමෙන් පසු ඇය තමන් සමඟ නොපැමිණේ යැයි සිතා පැහැර ගැනීම සිදු කළ බව සැකකරු පොලිසියට පවසා තිබේ.
කුළුගම්මන ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබ තිබෙන සිසුවිය නුගවෙල මධ්‍ය මහා විදුහලේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත.
විභාගය අවසන් වී ඇය මිතුරන් දෙදෙනකු සමඟ යළි නිවෙසට යමින් සිටියදී වෑන් රථයෙන් පැමිණි පිරිස බලහත්කාරයෙන් ඇයව වෑන් රථයට නංවාගෙන පලාගොස් තිබේ.
එම අවස්ථාවේදී ඇය අසල සිටි අනෙක් සිසුන් දෙදෙනා වෑන් රථයේ අංකය සටහන් කර ගැනීමෙන් පසු පොලිස් හදිසි ඇමැතුම් අංශයට සිද්ධිය දැනුම් දී ඇත.
හදිසි ඇමතුම් අංශය මඟින් අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතාට ඒ බව දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායම් දෙකක් වහා ක්‍රියාත්මක වී සිද්ධියෙන් පැයක් ගතවන්නට මත්තෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වූ ඊයේ (15) සෑම විදුහලක් අසලම විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ අතර අලදෙණිය පොලිසියේ නිලධාරීන් ද එම ආරක්ෂක කටයුතුවල නිරත වීම නිසා සැකකරුවන් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
සැකකරුවන් සියලු දෙනා කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ප්‍රධාන සැකකරුගේ බිරිය ඔහුව අත්හැර ගොස් තිබෙන බව පොලිසිය පවසයි.