කටුනායක ඇතුළුවීමේ පර්යන්තයේ සෝදිසි හදිසියේ නවතී

කටුනායක ඇතුළුවීමේ පර්යන්තයේ සෝදිසි හදිසියේ නවතී

බුද්ධි අංශවල හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යයනයකින් තොරව කටුනායක ගුවන්තොටුපළ ඇතුළුවීමේ පර්යන්තයේ (departure) තිබූ ස්කෑන් යන්ත්‍ර හා ආරක්ෂක සෝදිසි කිරීම් සියල්ල හදිසියේම ඉවත් කර ඇතැයි අනාවරණය වෙයි.

වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්ගේ නියෝගයක් මත මෙම තීරණය ගෙන තිබේ.

ජාත්‍යන්තර ගුවන් තොටුපළවල පවතින ක්‍රමවේදවලට අනුව පිවිසුම් ස්ථානයේ ඇති ස්කෑන් යන්ත්‍ර ඉවත් කර ඒ වෙනුවට සී.සී.ටී.වී. කැමරා පද්ධතිය මගින් හා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මගින් අභ්‍යන්තර ආරක්ෂාව සලසන බව අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් බුද්ධි අංශ සඳහන් කරන්නේ මේ හේතුවෙන් ගුවන් තොටුපළට ඇතුළු වන ඕනෑම අයකුට ආයුධයක් වැනි දෙයක් පහසුවෙන් රැගෙන ආ හැකි බවයි.

මේ අතර අමාත්‍යාංශ බලධාරීහු පෙන්වා දෙන්නේ මගීන් ගුවන් ගතවීමට යන කවුළුව ආසන්නයේදී ස්කෑනර් යන්ත්‍ර යොදවා පරීක්ෂා කිරීම් වැඩි කර ඇති බවයි.

මගී තදබදය වළක්වා ගැනීමේ අරමුණකින් මෙම තීරණය ගත් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

ගුවන්තොටුපළින් පිටවන පුද්ගලයන් පරීක්ෂාවට ලක් වුවද ඔවුන් සමග ගුවන්තොටුපළ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයන් පරීක්ෂා නොකෙරෙන බැවින් ගුවන් තොටුපළේ අභ්‍යන්තර ආරක්ෂාවට මෙය තර්ජනයක් විය හැකි බව බුද්ධි අංශ නිලධාරීහු පෙන්වා දෙති.

Share This