කන්ජිපානිගේ පියාට ලක්ෂ 20ක දඩයක්

කන්ජිපානිගේ පියාට ලක්ෂ 20ක දඩයක්

මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම්‍ රාන් මොහොමඩ් කාසිම් නොහොත් කම්ජිපාණී ඉම්රාන්ගේ පියාට රුපියල් ලක්ෂ විස්සක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (28) නියම කළේය.

ඉම්රාන් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම යන කරුණ පදනම් කරගෙන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්ට මෙම දඩය නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළහොත් ඇප රාජසන්තක කරන බවද දන්වා සිටියේය.

පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කිරීමට එරෙහිව පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩය නියම කෙරිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ ඇපකරු ලෙස රුපියල් ලක්ෂ හතලිහක ශරීර ඇපයකට අත්සන් කළ මොහොමඩ් නජීම් වන්දනා ගමනක් යෑම සඳහා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ අවසරය ලබාදීමට පෙර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත්දැයි අධිකරණයෙන් විමසා සිටියේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණය මගහැර පලායෑම ,ඇපකරුට සැකකරු ඉදිරිපත් කිරීමට නොහැකිවීම යන කරුණු මත ඇප රාජසන්තක කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

නැතහොත් අදාල ඇපය දඩයක් ලෙස ගෙවන ලෙසට නියම කළේය.

ලක්ෂ 40ක මුදලක් තැන්පත් කිරීමට නොහැකි බව ඇපකරු අධිකරණයට දන්වා සිටියේය.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ විස්සක දඩයක් ඇපකරුට නියම කරමින් විදේශගත වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.