ලාංකික තරුණයෙක් මෙරට පවුලක් කැනඩාවේදී මරා දමලා

ලාංකික තරුණයෙක් මෙරට පවුලක් කැනඩාවේදී මරා දමලා

කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්‍රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කළේය.

එහිදී ශ්‍රී ලාංකික වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු ඝාතනය කළ සමූල ඝාතනයේ’ වැඩි විස්තර මේ වනවිට කැනඩාවේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ.

මවක් සහ ඇයගේ දරුවන් සිව් දෙනෙකු මෙන්ම එම නිවසේ ජීවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගොස් ඇති බව පැවසේ.

මෙම සිද්ධියෙන් මියගිය පිරිස වන්නේ,

මව – දර්ශනී බණ්ඩාරනායක – වයස අවුරුදු 35යි

ඉනූක වික්‍රමසිංහ – වයස අවුරුදු 07යි

අශ්විනී වික්‍රමසිංහ – වයස අවුරුදු 04යි

රින්යානා වික්‍රමසිංහ – වයස අවුරුදු 02යි

කෙලී වික්‍රමසිංහ – මාස 02යි

ඝාතනය වූ අනෙක් පුද්ගලයා වන්නේ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි අයෙකි.

මෙම සිද්ධියෙන් දරුවන්ගේ පියා බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු ධනුෂ්ක වික්‍රමසිංහ නම් අයෙකි.

අදාළ ඝාතන සිදු කර ඇත්තේ මෙම නිවසේම පදිංචිව සිටි බව කියන 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික තරුණයකු බව පැවසේ.

ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔහුගෙන් දිවි බේරාගෙන දැනට බරපතල තුවාල ලබා රෝහල්ගතව පසුවන මියගිය දර්ශනීගේ සැමියා (ධනුෂ්ක වික්‍රමසිංහ) පවසා ඇති තොරතුරු අනුව ඝාතන සිදුකර ඇත්තේ කුඩා පිහියකින් ඇනගෙන ඇනගෙන යාමෙනි.

මෙලෙස ඝාතන සිදුකරන්නට හේතුව තවම පැහැදිලි නැති අතර 19 වයසේ තරුණයාට ඇතිවූ කිසියම් ක්ෂණික කෝපයක් මත ඝාතන සිදුකරන්නට ඇතැයි අනුමාන කෙරේ.

19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ශිෂ්‍යයෙකු ලෙස කැනඩාවේ වීසා ලබා ඇති ශ්‍රී ලාංකිකයෙකු බව පොලිසිය පවසයි.

සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැත්තා ද එම පවුලේ හඳුනන අයෙකු බවත් ඝාතනය සිදුවන අවස්ථාවේ එම නිවසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පවසයි.

ඔටාවා නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 15ක් පමණ දකුණින් එම ස්ථානයේදීම ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය අය අතර කම්පන සහගත මරණය මාස දෙකහමාරක් වන කෙලී නමැති දැරියයි. මෙම දැරිය පමණක් කැනඩාවේ ඉපදී ඇති අතර අනෙක් අය ලංකාවේ ඉපැදුණ දරුවන් බවත් කිසිවෙකු කැනඩා පුරවැසිකම නොලද අය බවත් පැවසේ.

පවුල ලංකාවෙන් මෑතක සංක්‍රමණය වූ අය බව පොලිසිය පවසයි . මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිසිය තහවුරු කළේ මෑත කාලයේ සිදුවූ විශාලතම ඝාතන සිදුවීම මෙය බවයි.

මහකොමසාරිස් කාර්යාලය තහවුරු කළ තොරතුරු අනුව මියගියදර්ශනීගේ සැමියා තුවාල ලබා ඉක්මනින්ම රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු බරපතල නමුත් ස්ථාවර තත්ත්වයක පවතින බව එරට මාධ්‍ය දන්වා ඇත.

ඔටාවා පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් වාර්තාකරුවන්ට පැවසුවේ “මෙය තනිකරම අහිංසක මිනිසුන්ට සිදු කරන ලද අඥාන ප්‍රචණ්ඩ ක්‍රියාවකි.”

සියලුම ඝාතන සහ තුවාල සඳහා “පිහියක් වැනි වස්තුවක්” භාවිතා කර ඇති බව ඔහු තහවුරු කළේය. “ඛේදජනක හා සංකීර්ණ” පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි .

මියගිය දර්ශනී දිලන්තිකා ඒකනායක කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ උපාධිධාරිනියක වන අතර ඇය පුද්ගලික අංශයේ කළමනාකාරණ සහායක රැකියාවක් කරමින් සිටියදී සිව්වන දරුවා ලැබෙන්නට පෙර මෑතකදී පවුල සමග කැනඩාවට සංක්‍රමණයවී ඇති බව පැවසේ.

මෙම නිවස පාසල් දෙකක් ආසන්නයේ පිහිටා ඇති අතර දරුවන් ආසන්න කතෝලික පාසලක ඉගෙනුම ලබමින් සිටි බව සදහන් වේ.

Share This