කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට – අධිකරණය අසල විරෝධතාවක්

කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට – අධිකරණය අසල විරෝධතාවක්

කළුතර හෝටලයක ඉහළ මහලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතරදෙනා අද (15) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.

දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවල, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස කටයුතු කල පුද්ගලයා මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබිණි.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගොස් ඇති දැරියගේ මව ඇතුළු 100 කට ආසන්න පිරිසක් අධිකරණ භූමියෙන් පිටත ඉදිරිපිට ගාලුපාරේ පෙළගැසී දැරියට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා නිහඩ විරෝධතාවකද නියැලී සිටියහ.

මියගිය දැරියට සාධාරණය ඉටුකරනු, පොලිසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු, ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව ගාලුපාරේ මීටර් 50 ක පමණ දුරකට පෙලගැසී සිටි විරෝධතාකරුවෝ නිහඩ විරෝධතාවේ නියැලී සිට මද වේලාවකට පසු විසිර ගියහ.

කළුතර නගරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දකින්නට ලැබිණි.

Share This