කලාවැවේ පිටවානේ අනවසර කැණීම් හොයන්න පංච පුද්ගල කමිටුවක්

කලාවැවේ පිටවානේ අනවසර කැණීම් හොයන්න පංච පුද්ගල කමිටුවක්

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කළ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන්, යුත් පංච පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කර ඇති බවයි, අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම අනවසර කැණීම් සිද්ධිය හමුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කිසියම් නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇති බවට සනාථ වුවහොත් ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.