ජෝර්දානයේ ලාංකික ඇඟලුම් සේවකයන්ට ඇමති මනූෂගෙන් සහනයක්

ජෝර්දානයේ ලාංකික ඇඟලුම් සේවකයන්ට ඇමති මනූෂගෙන් සහනයක්

ජෝර්දානයේ රැකියා අහිමිවී සිටින ඇඟලුම් සේවකයන් සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාරගේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව එම කර්මාන්ත ශාලා වසා තැබීම හේතුවෙන් ඉවත් කළ සේවකයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

අදාළ ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් සේවකයන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය එක්ව එරට කම්කරු දෙපාර්තමේන්තු බලධාරින් සමග සාකච්ඡා කර තිබේ.‍

එහිදී අදාළ බලධාරීන් මෙම ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට පිටත් කිරීම සඳහා ගුවන් ටිකට් පත් ලබා දිය හැකි බව ප්‍රකාශ කර ඇත.

නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය ඉන් සෑහීමට පත්නොවූ අතර පසුව ඉන්දීය හා බංග්ලාදේශ යන රටවල නියෝජනය කරන ජෝර්දානයේ සිටින තාතාපතිවරුන් සමග එක්වී එරට කම්කරු අමාත්‍යාංශ නිලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ, ගුවන් ටිකට් පත්වලට අමතරව මෙම සේවකන්ගේ හිඟ වැටුප් හා දීමනා සමඟ සමාජ රක්ෂණ අරමුදල මඟින් වන්දි ලබා දෙන ලෙසය.

මෙම ශ්‍රමිකයින්ට හිමි හිඟ වැටුප්, දීමනා හා සමාජ ආරක්ෂණ වන්දි මුදල් ලබාගැනීම සඳහා ජෝර්දානයේ නීති උපදේශන ආයතනයක සහාය ගන්නා ලෙස කාර්යාංශ සභාපති ඒ. ඒ. එම්. හිල්මි තානාපති කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එසේම මෙම ශ්‍රමිකයින් අතුරින් මේ වන විට වලංගු වීසා නොමැතිව ජෝර්දානයේ රැඳී සිටින ශ්‍රමිකයින් දඩ මුදල් අයකිරීමකින් තොරව දිවයිනට ගෙන්වා ගැනීමටත්, තවදුරටත් ජෝර්දානයේ රැඳී සිටිමින් වෙනත් ආයතනවල සේවය කිරීමට කැමති ශ්‍රී ලාංකිකයින් 62 දෙනෙකු වෙනුවෙන් නව සේවා ස්ථාන ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් උපදෙස් ලබාදී ඇත.

මේ වන විට අදාළ ශ්‍රමිකයින් කර්මාන්ත ශාලාවට අයත් නේවාසිකාගාරයේ රඳවා සිටින අතර තානාපති කාර්යාලය කළ ඉල්ලීම් වලට ප්‍රතිචාර ලැබීමෙන් පසු මෙම සේවකයන් මේ මාසය ඇතුළත ශ්‍රී ලංකාවට යැවීමට අවශ්‍ය කටයුතු සලසා ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

ජෝර්දානයේ එක් ආයතනයක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 153 දෙනකු හා අනෙක් ඇඟලුම් කර්මාන්තශාලාවේ ශ්‍රමිකයින් 67 දෙනෙකු සේවය කර ඇත.

මේ අතර එක් ආයතනයක සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අත්සනින් නිකුත් කරන ලද ලිපියක් මඟින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ආහාර, ජලය හා විදුලිය යන මුලික අවශ්‍යතාවයන් අඩුවකින් තොරව ලැබෙන බවය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ඇඟලුම් කම්හල් දෙකෙහි ශ්‍රී ලාංකික ශ්‍රමිකන්ගේ වෛද්‍ය පහසුකම් අවශ්‍යතා ඉටුකිරීමට අවශ්‍ය මුදල් යවා ඇත.

තවද කම්කරු සුභසාධන අංශයේ නිලධාරින් අදාළ සේවකයන් සම්බන්ධයෙන් නිරන්තරව සොයා බලමින් සිටින බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශ සඳහන් කරයි.

මෙම සේවකයන්ගේ ගැටලු සම්බන්ධ‍යෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥ සමාගම් තුනක් සමග සාකච්ඡා කර ඇති අතර, ඔවුන්ගේ උපදෙස් ලැබුණු පසු සේවකයින්ගේ කැමැත්ත ඇතිව අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතය.

සියලු කටයුතු අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ සඳහන් කළේය.