ජපානයෙන් සෞඛ්‍ය අංශයට ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්

ජපානයෙන් සෞඛ්‍ය අංශයට ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්

ජපන් රජයෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක්.

ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී ඇත.

එම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාරදීම අද (19) කොළඹ වරායේ “ඩොල්ෆින් ජැටිය” පර්යන්තයේ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඉහත ප්‍රදානය නිල වශයෙන් ලබාදෙන ලදි.

ප්‍රදානයක් ලෙස ලැබුන මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 සෞඛ්‍ය ආයතන වලට බෙදාහැරිමේ කටයුතු සදහා Fuel Management Information System (FIMS) පද්ධතියක් නිර්මාණය කර ඇති අතර, එම පද්ධතියට ඉන්ධන ලබාගත් වාහන, ලබාගත් ඉන්ධන ප්‍රමාණය, සෞඛ්‍ය ආයතන පිළිබද සියළු තොරතුරු දත්ත ඇතුළත් කරනු ලබයි.

එම සියළු කටයුතු ජපන් රජයේ සෘජු අධීක්ෂණය යටතේ සිදුවීම ද විශේෂත්වයකි.

සුපර් ඩීසල්, පෙට්ට්‍රල් ලබා නොදෙන අතර, ඛනිජ තෙල් නිෂ්පාදන අඛණ්ඩව සැපයීම සිදු කරනු ලබන සිපෙට්කෝ (Ceylon Petroleum Corporation – CEYPETCO) ආයතනයත් සමග එක්ව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාවට නංවනු ලබයි.

මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ප්‍රවාහන) නිලංග සෝමපාල ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.