රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක

අද (27) දිනයේ ජාතික විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පවසයි.

රාජ්‍ය සේවකයින් සඳහා අවම 20,000 ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දෙන්නැයි රජයට බලකරමින් විරෝධය ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි, එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ.

වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුප සඳහා රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් 8% ක් ගැනීමට අයවැයෙන් කළ යෝජනාවටද තමන් විරෝධය පලකරන බවයි චන්දන සූරියආරච්චි මහතා පැවසුවේය.

ඒ අනුව අද දහවල් 12ට කෑම පැය කාලය තුළ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති අතර එහි ප්‍රධාන විරෝධතාව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට සංවිධානය කර ඇති බව පැවසේ.

කෙසේ වෙතත් රට අර්බුදයකින් ගොඩගන්නා අවස්ථාවක දේශපාලන අරමුණු වෙනුවෙන් විරෝධතා සංවිධානය කිරීම අනුමත කළ නොහැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පැවසුවේය.