ජැක්සන් ඇන්තනීගේ දේහය අද මහජන ගෞරවයට

ජැක්සන් ඇන්තනීගේ දේහය අද මහජන ගෞරවයට

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද (10) පෙරවරු 7.30 සිට රාත්‍රී 11.00 දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඉන් අනතුරුව දේහය හෙට (11) අනිද්දා (12) දෙදින තුළ වනිගසූරිය වත්ත, රාගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) පස්වරුවේ රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

හදිසි අනතුරකට ලක්ව මාස 14කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී ඊයේ (09) අලුයම අභාවප්‍රාප්ත වුණා.

අනතුරෙන් සුෂුම්නාව බිඳීයාමෙන් පසු ඇති වූ සංකුලතා ජැක්සන් ඇන්තනීගේ මරණයට හේතු වී ඇති බවයි ඊයේ (09) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ.