ඊශ්‍රායල් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ ආරංචියක්

ඊශ්‍රායල් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ ආරංචියක්

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින් 6160 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

එසේම 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකික තරුණයින් 1082 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 41 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ දින (10) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම පිරිස ඊයේ දිනම ඊශ්‍රායලය බලා පිටත්ව ගියහ.

එසේම තවත් 177 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී.

සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරට යමින් යුරෝපානු හා නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රමිකයින් යොමුවීමේ ප්‍රවණතාවයක්ද පසුගිය වසර කිහිපයේ ඇතිවෙමින් පවතින අතර, ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමටද ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතී.