ඉෂාරා සොයා පොලිසිය මතුගම රන්නගල පීරයි

ඉෂාරා සොයා පොලිසිය මතුගම රන්නගල පීරයි

ගනේමුල්ල සංජීව ඝාතනයට අනුබල දී ආධාර කිරීමේ චෝදනා ලබා ඇති ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ව සොයා පොලිස් විශේෂ කාර්‍යය බලකාය සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් කිහිපයක් එක් ව මතුගම – රන්නගල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සඳහා පුහුණු නිල සුනඛයින් ද යොදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 19 වැනි දින කොළඹ – අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සිටි ගනේමුල්ල සංජීව නීතිඥවරයෙකුගේ වෙස් ගත් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

එම වෙඩික්කරුට කඩුවෙල ප්‍රදේශයේ දී වෙඩි තැබීම සඳහා අවශ්‍ය ගිනි අවිය ලබා දී ඇත්තේ මේ වනවිට අතුරුදන් ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව විසින් බවයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ.

අදාළ කාන්තාව මෙරටින් පලා ගොස් නොමැති බවත් ඇය මතුගම ප්‍රදේශයේ වෙස්වලාගෙන සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් වාර්තා වනවා.

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් දැනුවත් වී සිටීමේ චෝදනා මත සැකකාරිණියගේ මව සහ සොහොයුරා ද මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතිනවා .