ඊශ්‍රායල – හමාස් යළි ඇවිලේ

ඊශ්‍රායල – හමාස් යළි ඇවිලේ

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර පැවැති තාවකාලික සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කරමින්, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ අනුව, තාවකාලික සටන් විරාමය අවසන් වූයේ සතියකට පසුවය. සටන් විරාමය ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය. ඒ, සිවු දින සටන් විරාමයක් ලෙසය. පසුව දෙපාර්ශ්වය අතරේ පැවැති සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස සටන් විරාමය සතියක් දීර්ඝ කර ගැනුණි.

හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරය සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කිරීමක් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් යළි ප්‍රහාර ආරම්භ කළ බවත් ඊශ්‍රායල හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ලකර ඇති බවත් එම රොකට් බිම හෙළීමට ඊශ්‍රායල හමුදාව සමත්වී ඇති බවත් ය.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් සටන් විරාමයකට කැමැති කරවා ගත්තේ කටාර් රාජ්‍යයයි.

ඒ අනුව, ඊයේ (30) වනවිට ගාසා හි රඳවාගෙන සිටි ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණඇපකරුවන් 110 ක් මෙන්ම ඊශ්‍රායලයේ සිරකඳවුරු වල රඳවා සිටි පලස්තීනුවන් 240ක් ද නිදහස් කර තිබේ.

Share This