වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි ,එහි ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ.

ඊයේ (04) දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවීම හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරන නමුත් ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස ද එස්. පී. සී. සුගීෂ්වර මහතා දැනුම්දෙයි.

කෙසේනමුත් ගිං සහ නිල්වලා ගංගාවල පහළ ප්‍රදේශවල මෙන්ම කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ පහළ ප්‍රදේශවල, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම තවමත් ඉහළ අගයක පවතී.

එම ප්‍රදේශවල සැලකියයුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක ඇතිවීමේ ඉඩක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පැවසීය.

මෙම ගංගාවල ජල මට්ටම ඉහළ අගයක පැවතීම හේතුවෙන් ඉදිරි කාලයේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියව පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.