ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී

ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය සෙවුම් කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය පවසයි.

ඉරානයේ ‘Red Crescent’ සමාජයේ ප්‍රධානියා රාජ්‍ය රූපවාහිනියට පවසා ඇත්තේ තත්ත්වය එතරම් “යහපත්” මට්ටමක නොවන බවයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටුණු ස්ථානය සෙවීමට තුර්කි ඩ්‍රෝන යානයක් එරට නැගෙනහිර අසර්බයිජාන් පළාතේ කඳුකර ප්‍රදේශයට යොමු කර ඇති අතර හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන උණුසුම් තාප ප්‍රභවයක් සහිත ස්ථානයක් හඳුනා ගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ තුර්කි ප්‍රවෘත්ති ඒජන්සිය සදහන් කර තිබුණි.

කෙසේ නමුත් හෙලිකොප්ටරයේ සිටි අයගේ තත්ත්වය තවමත් අනාවරණය වී නොමැත.

මේ අනුව දැවෙන ස්ථානයක් හඳුනාගෙන ඇති අතර, තාවිල් ලෙස හඳුන්වන එම ප්‍රදේශයට ගලවා ගැනීමේ හමුදා යවා තිබුණි.

ඝන මීදුම සහ අධික ශීතල සහිත දුෂ්කර කාලගුණික තත්ත්වයන් යටතේ කඩා වැටුණු ස්ථානය සොයා ගැනීම සඳහා සෝදිසි කිරීමේ උත්සාහයන් මේ දක්වා අඛණ්ඩව සිදු වේ.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ටවිල් ගම්මානය අසල හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයේ අවම වශයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් 73 ක් මෙහෙයුම් සදහා එක් කර ඇතැයි ද රතුකුරුස සංවිධානය සදහන් කරයි.

මේ අතර ඉස්ලාමීය ජනරජයේ මාධ්‍ය යන්ත්‍රය, ඉරාන නායකයා වෙනුවෙන් යාඥා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමත් සමඟ දේවස්ථානවලට රැස් වූ ජනතාව යාඥාවන් සිදු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.