ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක්

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයේ නගරයකට අද (19) අලුයම මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට සහ ඉස්ෆහාන් නගරයට නැගෙනහිර ප්‍රදේශයකට මෙම මිසයිල එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය තහවුරු කළේය.

ප්‍රහාරය එල්ල වීමත් සමඟ ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කර ඇති අතර මෙතෙක් එම ස්ථාන දෙකේ සිදුවූ පිපිරීම් වලින් සිදුවූ හානි පිළිබඳව වාර්තා වී නොමැත.

මේ අතර, ඉරාන මාධ්‍ය පවසා ඇත්තේ, ඉරානයේ ඉස්ෆහාන් නගරයේ ගුවන් තොටුපළක පිපිරීම් හඬක් ඇසුණු බවයි.

පසුගියදා ඉරානය විසින් මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඊට යෙදිය හැකි උපරිම ශක්තිය යොදා පිළිතුරු දෙන බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් අනතුරු අඟවා පැය කීපයක් යන්නට මත්තෙන් ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

Share This