බාල ඉමියුනොග්ලොබියුලීන් එන්නත හදන්න ලේ බැංකුව අනීතිකව ලේ විකුණලා

බාල ඉමියුනොග්ලොබියුලීන් එන්නත හදන්න ලේ බැංකුව අනීතිකව ලේ විකුණලා

තත්ත්වයෙන් බාල ඉමියුනොග්ලොබියුලීන් එන්නත නිෂ්පාදනය කිරීම සඳහා අදාළ සැපයුම්කරුගේ ඉල්ලීම මත රුධිර බැංකුව මගින් රුධිර ප්ලස්මාව නිසි නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් තොරව මුදලට අලෙවි කොට ඇති බව විගණකාධිපතිවරයා තම නවතම විගණන වාර්තාවෙන් හෙළි කරයි.

විධිමත් අනුමැතිය ලත් පර්යේෂණයක්ද යන්න හෝ පර්යේෂණය සිදු කළ යුතු ආචාර ධර්මවලට අනුකූලවන ලෙස කටයුතු කර ඇති බව තහවුරු කර ගැනීමකින් තොරව ආසාදිත නොවන බවට රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු නොකළ ප්ලස්මා බාහිර පාර්ශවයන්ට ලබා දීමට කටයුතු කිරීමටත් රුධිර පාරවිලයන ආයතනය විසින් පත්කළ කමිටුව විසින්ද පරීක්ෂණ සිදු කළ යුතු ආචාර ධර්මවලට අනුව තහවුරු කර ගැනීමකින් තොරව ‍ප්‍රශ්න සහගත බාල ඖෂධ නිෂ්පාදනය සඳහා රුධිර ප්ලස්මාව නිකුත් කිරීමට නිර්දේශ කිරීමට රුධිර බැංකුව කටයුතු කර ඇති බව විගණකාධිපතිවරයා තහවුරු කරයි.

එසේම මෙම විද්වත් කමිටුව මගින් පර්යේෂණයට අදාළ භූමි භාගය පරීක්ෂා කිරීමට යෝජනා කර තිබුණද එවන් පරීක්ෂාවක් සිදුකිරීමකින් තොරව රුධිර ප්ලස්මාව නිකුත් කර ඇති බවද එම වාර්තාව අනුව පැහැදිලි වෙයි.

2023 වසරේ මාර්තු 10 වන දින රුධිර ප්ලාස්මාවට අමතරව රුපියල් දොළොස්දහසකට රුධිර පැකට් හයක් විධිමත් අනුමැතියකින් තොරව රෝගී ප්‍රතිකාර සිදු නොකරන ප්‍රශ්න සහගත බාල ඖෂධ සමාගම්කරු ලබාදීමට බැංකුව කටයුතු කර ඇත.

එසේම 2023 නොවැම්බර් 20 වන විට අදාළ සැපයුම්කරු වෙත රුධිර ප්ලාස්මාව ලීටර 170ක් රුපියල් 2460174.00 අයකරමින් නිකුත් කර තිබූ බවද විගණකාධිපතිවරයා සඳහන් කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ නිර්දේශ මත රුධිර බැංකුවේ අධ්‍යක්ෂකවරයා විසින් මේ අන්දමට නීත්‍යානුකූල නොවන ක්‍රමය යටතේ විටින් විට රුධිර ප්‍රශ්න සහගත බවත් ඖෂධ නියාමන අධිකාරී පනත මේ අනුව කඩ කර ඇති බවත් විගණකාධිපතිවරයා සඳහන් කරයි.