ජාතික ජන බල වේගය සහ IMF නියෝජිතයන් අතර හමුවක්

ජාතික ජන බල වේගය සහ IMF නියෝජිතයන් අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) දින හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ අද පෙරවරු 10.00ට එම හමුව සිදුවන බවය.

ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති ආර්ථික පීඩනය සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුකිරීමට කටයුතු කරන බව සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

මේ අතර යෝජිත රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත් කෙටුම්පත ඉවත දමන ලෙසත් ඔන්ලයින් ආරක්ෂණ පනතට තහනමක් පනවන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් යොමුකරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වාදෙන්නේ මානව හිමිකම් ප්‍රමිතීන්ට ගරු කරන බව සහතික කිරීම සඳහා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙසට ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ යුතු බවය.

සිවිල් සමාජය දැඩි ලෙස පීඩාවට පත්කරන සහ රට තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල කඩා කප්පල් කරනු ලබන අදාළ පනත් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය අදාළ ලිපියෙන් දැනුම් දී තිබේ.